Breaking News

කිරිටොෆි දී ආරක්ෂකයින් මත්කර හරක් කටා පන්නන්න හැදූ කොස්තාපල්

රහස් පොලිසියේ හතරවැනි තට්ටුවේ රඳවා සිටින හරක් කටා ගිනි අවියක් පැහැරගෙන රහස් පොලිසියේ කොස්තාපල්වරයකුගේ සහයෙන් පලා යෑමට ගත් තැතක් වළකා ගැනීමට හැකි වී ඇත.

හරක්කටා රඳවා ඇති ස්ථානයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකවරයකුගේ ගිනි අවිය පැහැර ගැනීමට උත්සාහ ගනිද්දී එම නිලධාරියා හරක්කටා සමග පොර බදමින් කෑගසා අනිත් නිලධාරින් කැඳවීමත් සමග පැන යන උත්සාහය ව්‍යර්ථ වී ඇත.

කෑකෝ ගැසීම්, පොරබැදීම් අතරේ යුද පිටියක් මෙන් සිදුවීම වී ඇතැයි ආරංචි මාර්ග කියයි.



උප පොලිස් පරීක්ෂකවරයාගේ සහයට ඒ මොහොතේ මුලින්ම පැමිණ ඇත්තේ පොලිස් කොස්තාපල්වරියකි. පෙරේදා (10) මෙම සිදුවීම වන අවස්ථාවේ හරක්කටාගේ ආරක්ෂාවට යොදවා සිටි රහස් පොලිසියේ කොස්තාපල් සංදීප නමැති අය සිද්ධියත් සමග අතුරුදන් වී ඇත. ඔහු හතරවැනි තට්ටුවෙන් පලාගොස් කොම්පඤ්ඤවීදියේ පොලිස් බැරැක්කයට ගොස් තම බෑගයත්, එහි තිබූ වෙනත් නිලධාරින්ගේ ජංගම දුරකථන දෙකක් ද සමගින් පලාගොස් ඇත.

හරක්කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පන්නන මෙහෙයුමට මෙම කොස්තාපල්වරයා උදව්කර ඇතැයි මූලික විමර්ශනවලදී සැක පහළ වී තිබේ. ඔහු ත්‍රිකුණාමලයේ පදිංචිකරුවකු වන අතර ගමෙන් ගෙනා කිරි ටොෆී බව පවසමින් තම නිලධාරින්ට කෑමට දී ඇතැයි හෙළි වී ඇත.

ඒ හරක්කටාව එම ගොඩනැගිල්ලේ හයවැනි මහල වෙත රැගෙනවිත් අපරාධ විමර්ශන අංශයේ ප්‍රශ්න කිරීම කරන අතරේය. ඉරිදා දිනයක් වූ බැවින් නිලධාරින් අඩු නිසා පැන යෑමට සැලසුම් කරන්නට ඇතැයි විමර්ශන නිලධාරීහු සැක පහළ කරති.

කොස්තාපල් සංදීප දුන් කිරි ටොෆී ආහාරයට ගත් බව කියන නිලධාරින් දෙදෙනකු මත්වීමත් සමග හරක්කටා වැසිකිළියට යෑමට ඉල්ලීමක් කර ඇත. හරක් කටාගේ දෑත්වලට දමා තිබූ මාංචු ගලවා වැසිකිළි යෑමට දී නැවත එද්දී ඒවා අගුළු නොදැමීමට පොලිස් කොස්තාපල්වරයා කටයුතු කර ඇත.

ප්‍රශ්න කරන තැනට නැවත ගෙන එන අතරේ මාංචු විසිකර දමා පොලිස් විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකගේ ඇඟට පැන පිස්තෝලය උදුරා ගැනීමට හරක්කටා උත්සාහ කර ඇතත් උප පොලිස් පරීක්ෂකවරයා කෑගසමින් අනෙක් අයගේද සහාය ඇතිව හරක්කටා මෙල්ල කරගෙන ඇත.

යම් හෙයකින් මෙතැනින් පැන ගත්තා නම් ආරක්ෂාවට සිටි නිලධාරින් ඝාතනය කර හෝ හරක්කටාට සෝපානය ඔස්සේ පහළට බැස පැන යෑමට ඉඩ තිබුණු බව නිලධාරීහු පෙන්වා දෙති. සිද්ධිය වන මොහොතේ ගොඩනැගිල්ලේ පහත මාලයේ පොලිස් විශේෂ කාර්ය බළකායේ තිදෙනකු රඳවා සිට ඇත. ඒ හරක් කටා එම ගොඩනැගිල්ලේ රඳවා සිටින නිසාය.

මෙම සිද්ධිය ගැන වහාම පරීක්ෂණ කරන ලෙස මහජන ආරක්ෂාව භාර ඇමැති ටිරාන් අලස් පොලිස්පති චන්දන වික්‍රමරත්නට නියෝග කර ඇත.

මේ අනුව කොළඹ අපරාධ කොට්ඨාසය වෙත මේ සම්බන්ධ විමර්ශන පවරා තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකායේ දැඩි ආරක්ෂාවක් මැද හරක්කටා රැගෙනවිත් ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ කොට්ඨාසය කටයුතු යොදා තිබිණ.