Breaking News

මූල්‍ය නීති ගණනාවක් අඛණ්ඩව කඩ කරමින් ගිය දයාගේ බිම්පුත් ෆිනෑන්ස්හි බලපත්‍රය ශ්‍රී ලංකා මහ බැංකුව අහෝසි කරයි

එක්සත් ජාතික පක්ෂයේ  දයා ගමගේට අයත් බිම්පුත් ෆිනෑන්ස් සමාගම අඛණ්ඩව නීතිවිරෝධීව කටයුතු කිරීම නිසා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වසා දමා තිබේ.

මේ වසා දැමීම පිළිබඳව නිල නිවේදනය නිකුත් කළ ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර තිබෙන්නේ මූල්‍ය නීති ගණනාවක් අඛණ්ඩව කඩ කරමින් මෙම සමාගම පවත්වාගෙන ගිය බවය.



විශේෂයෙන්ම ඌන ප්‍රාග්ධන මට්ටමක් පැවතීම, ගුණාත්මක බවෙන් අඩු වත්කම් සහ අඛණ්ඩව අලාභ ලැබූ බවත් එම නිවේදනයේ දැක් වේ. මෙම සමාගමේ මුදල් තැන්පත් කර තිබූ තැන්පත්කරුවන් හට රුපියල් ලක්ෂ 11ක උපරිම රක්ෂණ වන්දියක් ලබා දෙන බව මහ බැංකු නිවේදනයේ දක්වා තිබේ.

බිම්පුත් ෆිනෑන්ස් පී.එල්.සී ආයතනයට මුදල් ව්‍යාපාර කටයුතුවල නිරත වීමට ලබාදී තිබූ බලපත්‍රය 2023 සැප්තැම්බර් 01 දින සිට බලපැවැත්වෙන පරිදි අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව පවසන්නේ, බිම්පුත් ෆිනෑන්ස් පී.එල්.සී ආයතනය 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ ප්‍රතිපාදන සහ එකී පනත යටතේ නිකුත් කර ඇති සමස්ත මූල්‍ය පද්ධති ස්ථායීතාව සඵල කරගැනීමේ අරමුණින් පනවන ලද පොදු විධාන සහ එම ආයතනයේ දුර්වල මූල්‍ය තත්ත්වය පිළිබද ගැටලු නිරාකරණය කරගැනීමේ අරමුණින් පනවන ලද විශේෂිත විධාන සහ නීති ගණනාවක් අඛණ්ඩව කඩකරමින් හෝ පටහැණි ලෙස කටයුතු කරමින් පැවති බවය.

මෙම තත්ත්වය හේතු කොටගෙන පැනනැගුණු ඌන ප්‍රාග්ධන මට්ටම, ගුණාත්මක බවින් අඩු වත්කම් සහ අඛණ්ඩව වාර්තා වූ අලාභ හේතුවෙන් එම ආයතනයේ මූල්‍ය තත්ත්වය තවදුරටත් දුර්වල වී පැවතුණු බවද මහ බැංකුව පෙන්වා දෙයි.

එසේම මුදල් ව්‍යාපාර පනතේ ප්‍රතිපාදන සහ එකී පනත යටතේ නිකුත් කර ඇති විධාන සහ නීතිවලට මෙන්ම බැංකු නොවන මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීමේ සැලැස්ම සඳහාද අනුගත වීම සඳහා මුදල් මණ්ඩලය විසින් කිහිප අවස්ථාවකදී කාලය දීර්ඝ කිරීම් සිදුකළද, එම පනතේ ප්‍රතිපාදන සහ එකී පනත යටතේ නිකුත් කර ඇති විධාන සහ නීතිවලට අනුගත වීමටත්, ආයතනයේ පැවති දුර්වල තත්ත්වය මගහරවා ගනිමින් සෑහීමකට පත්විය හැකි වර්ධනයක් පෙන්වීමටත් ආයතනය අපොහොසත් වී ඇති බවද පෙන්වා දෙයි.

ඒ අනුව බිම්පුත් ෆිනෑන්ස් පී.එල්.සී ආයතනය වෙත ලබාදී තිබූ බලපත්‍රය අවලංගු කිරීමේ තීරණයට අනුව, එම දින සිට බලපැවැත්වෙන පරිදි බිම්පුත් ෆිනෑන්ස් පී.එල්. සී ආයතනයට මුදල් ව්‍යාපාර කටයුතුවල නිරත විය නොහැකි බවද මහ බැංකුව අවධාරණය කරයි.

එමෙන්ම මෙතෙක් තම හිමිකම් ලබා නොගත් තැන්පතුකරුවන් වෙත ශ්‍රී ලංකා තැන්පත් රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය (තැන්පතු රක්ෂණ ක්‍රමය) ඔස්සේ එම යෝජනා ක්‍රමයේ රෙගුලාසිවලට අනුකූලව එක් තැන්පතුකරුවෙකු වෙත රු.1,100,000ක් වූ උපරිමයකට යටත්ව රක්ෂණ වන්දි ගෙවීමට කටයුතු කරනු ඇති බවද මහ බැංකුව පවසයි. ඒ අනුව තැන්පතු රක්ෂණ ක්‍රමයේ රෙගුලාසිවලට අනුකූලව මේ වනතෙක් තම හිමිකම් ලබා නොගත් බිම්පුත් ෆිනෑන්ස් පී.එල්.සී ආයතනයේ සුදුසුකම් ලත් සියලුම තැන්පත්කරුවන්ට ස්වකීය හිමිකපෑම් ඉදිරිපත් කිරීමට යටත්ව 'බලපත්‍රය අවලංගු කළ දින සිට වසර දෙකක් ඇතුළත' හෝ 'නිසි අධිකරණයක් විසින් ඈවරකරුවෙකු පත්කිරීම' යන කරුණු අතරින් පළමුව සිදුවන කරුණ දක්වා කාල පරාසය තුළ සිය මුළු තැන්පතු මුදලම නැවත ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවද මහ බැංකුව පෙන්වා දෙයි.

එසේම බිම්පුත් ෆිනෑන්ස් පී.එල්.සී ආයතනයේ සියලුම ණය ගැතියන් වෙත නියමිත පරිදි එම ආයතනය නමින් ඇති බැංකු ගිණුම් හරහා පමණක් තම ගෙවිය යුතු මුදල් ආපසු ගෙවන ලෙසත්, එකී ගෙවීම් සඳහා නියමිත වාර්තා තමන් සතුව තබා ගැනීමටත් මහ බැංකුව උපදෙස් දෙනු ලැබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව 0112 477229 හෝ 0112 477504 යන දුරකථන අංක ඇමතීම මගින් වැඩිදුර කරුණු විමසීම් කළ හැකිය.