Breaking News

OnmaxDT අධ්‍යක්ෂ සම්පත්ගේ ලක්ෂ 6300 ක් වටිනා නිවාස විකිණීම වහාම අත්හිටුවයි

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් තහනම් කර තිබෙන පිරමීඩාකාර ගනුදෙනුවල නිරත ඔනමැක්ස් ඩී.ටී. ආයතනයේ අධ්‍යක්ෂවරයකු සතුව තිබූ රුපියල් ලක්ෂ හයදහස් තුන්සියයක් (6300) වටිනා සුවිසල් නිවාස සහ හෝටල්වලින් සමන්විත ඉඩම් 20ක් විකිණීම හෝ පැවැරීම වහාම අත්හිටුවමින් අධිකරණය ඊයේ (4 වැනිදා) පස්වරුවේ විශේෂ නියෝගයක් නිකුත් කළේය.



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව ඔනමැක්ස් ඩී.ටී. ආයතනයේ අධ්‍යක්ෂවරයකු වන දැනට විදේශ ගමන් තහනම් කර තිබෙන ලේන්දුවගේ සම්පත් සඳරුවන් නමැති අය සතුව තිබූ දේපළ අත්හිටුවමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් එලෙස නියෝග කළේය.



එකම දිනයක අදාළ ඉඩම් 20ම ඔප්පු සම්පත් සඳරුවන් නමැත්තා ඔහුට ලියාගෙන ඇතැයි දන්වා සිටි පොලිසිය, නීතිවිරෝධී පිරමීඩාකාර ගනුදෙනු සිදුකරන ඔනමැක්ස් ඩී.ටී. ආයතනය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමෙන් අනතුරුව එම ඉඩම්වලින් 8ක් සම්පත් සඳරුවන් නමැත්තා ඔහුගේ බිරිඳගේ නමටද, අනෙක් ඉඩම් 12 සිය මිතුරකුගේ නමටද ලියා ඇතැයි අධිකරණයට දන්වා සිටියේය.


මාතර ප්‍රදේශ‍යේ ඉඩම් 6ක්, කළුතර ප්‍රදේශයේ ඉඩම් 10ක්, හම්බන්තොට සහ කඩවත ප්‍රදේශවල ඉඩම් 2 බැගින් වන අයුරින් අදාළ ඉඩම් 20 සම්පත් සඳරුවන් නමැත්තා අත්පත් කරගෙන තිබූ බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.


එම ඉඩම් කිසිවකුට පැවැරීම හෝ විකිණීම අත්හිටුවමින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා මාතර, කළුතර, හම්බන්තොට සහ කඩවත ඉඩම් රෙජිස්ට්‍රාර්වරුන් සිව්දෙනාට නියෝගයක්ද නිකුත් කළේය.


සම්පත් සඳරුවන් නමැත්තාට අමතරව ඔනමැක්ස් ඩී.ටී. ආයතනයේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ දැනට විදේශ ගමන් තහනම් කර තිබෙන කහදව ආරච්චිලාගේ අතුල ඉන්දික සම්පත්, සිංහල පේඩිගේ ගායාෂාන් අ​බේරත්න, ගලබඩ විධාන ආරච්චිලාගේ සාරංග රන්දික ජයතිස්ස, මල්ලව අප්පුහාමිලාගේ ධනංජය ජයාන් යන සිව්දෙනා විසින් නීතිවිරෝධි අයුරින් උපයාගෙන ඇති දේපළ සම්බන්ධයෙන්ද පුළුල් විමර්ශනයක් පවත්වන බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.


ඔනමැක්ස් ඩී.ටී. නමින් සමාගමක් ලියාපදිංචි කරමින් එම සමාගම හරහා නීතිවිරෝධි පීරමීඩාකාර ගනුදෙනු සිදුකර ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂවරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඒ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වයි.


ඔනමැක්ස් ඩී.ටී. ආයතනයේ විවිධ තරාතිරම්වල පුද්ගලයන් රුපියල් කෝටි ගණනක මුදලක් ආයෝජනය කර මේ වන විට එම මුදල් නැවත ලබාගැනීමට නොහැකිව අසරණ වී ඇතැයි අධිකරණයට දන්වා සිටි පොලිසිය, එලෙස අදාළ ආයතනයේ රුපියල් ලක්ෂ 167ක මුදලක් ආයෝජනය කරන ලද කාන්තාවක් සහ රුපියල් කෝටි 4ක මුදලක් ආයෝජනය කරන ලද පුද්ගලයන් සිව්දෙනකු විසින් මේ වන විට පැමිණිලි ඉදිරිපත් කර ඇතැයිද අධිකරණයට දන්වා සිටියේය.