Breaking News

රේගුවේ දෙදෙනකුටත් කොරෝනා

 





පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපළෙන් කොරෝනා ආසාදිතයින් 49 දෙනෙකු වාර්තා වීමත් සමඟ කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, වැල්ලම්පිටිය සහ ග්‍රෑන්ඩ්පාස් යන පොලිස් බල ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවා.

එය ලබන සඳුදා අලුයම දක්වා ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

පෑලියගොඩ මත්ස්‍ය වෙළදපළ පරිශ්‍රයේ ඊයේ දිනයේ පී.සී.ආර්. පරීක්ෂණ 1186ක් පමණ සිදුකර ඇති අතර, පුද්ගලයන් 500කට වැඩි පිරිසක් මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා.

කෙසේ වෙතත්, මාළු රැගෙන යාම සඳහා වෙළඳපොළට පැමිණි පුද්ගලයන්ට නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට ලක්වන ලෙසයි සෞඛ්‍ය අංශ උපදෙස් ලබාදී ඇත්තේ.

මේ අතර, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලෙන් මාළු මිලදී ගැනීම සඳහා ගිය බම්බලපිටිය පොලිසියේ නිළධාරීන් 4 දෙනෙකු ද නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.

පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොළින් හඳුනා ගත් කොරෝනා ආසාදිතයන් වැඩි පිරිසක් අද ඇඳිරි නීතිය පැනවූ මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, වැල්ලම්පිටිය සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි හෙළිවී ඇත්තේ.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයටම ඊයේ රාත්‍රි 10 ට පැනවූ ඇඳිරි නීතිය ලබන සඳුදා අලුයම 5 දක්වා ක්‍රියාත්මකයි.

එමෙන්ම, කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීමත් සමඟ කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අගලවත්ත, ගොරක්ගොඩ, බේරගම, දාපිලිගොඩ සහ කැකුලන්දර – උතුර යන ග්‍රාම නිලධාරී වසම් සහ පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බෙල්ලන ග්‍රාම නිලධාරී වසම මේ වන විට හුදෙකලා කර තිබෙනවා.

මේ අතර, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ආශ්‍රිතව වාර්තා වූ ආසාදිතයින්ගෙන් 186 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරේ පළමු ආසාදිත කාන්තාව වාර්තා වී දින 20ක් ඇතුළත මොවුන් මෙලෙස සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බවයි.

මේ වන විට කොරෝනා ආසාදිතයන් දිවයිනේ දිස්ත්‍රික්ක 13කින් වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර කියා සිටියේ.  

කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්තශාලා 15කින් අද දිනය වන විට වාර්තා වන කොරෝනා ආසාදිත සංඛ්‍යාව 331 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, ඊයේ දිනයේ නව ආසාදිතයන් 17 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.

මේ අතර, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ සේවකයන් දෙදෙනකුට ද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ කොළඹ වරායේ භාණ්ඩ නිෂ්කාශන කටයුතු සීමා කිරීමට පියවර ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න කියා සිටියා.

එමෙන්ම, පෑලියගොඩ – බුළුගහ හන්දිය ප්‍රදේශයේ පිහිටා ඇති මෙරට  ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ පෞද්ගලික ආයතනයක සේවකයෙකුට ද වෛරසය ආසාදනය වී තිබෙනවා.

කුලියාපිටිය ප්‍රදේශයෙන් තවත් ආසාදිතයන් 14 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මේ වන විට එම ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 44 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උත්පල සංකල්ප සඳහන් කළා.

එමෙන්ම, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ද රෝගීන් 23 දෙනෙකු වාර්තා වී ඇති බවයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පද්මකුමාර වික්‍රමසිංහ කියා සිටියේ.

මේ අතර, කොන්සියුලර් සේවා තාවකාලිකව අත්හිටුවීමට විදේශ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව නැවත දැනුම් දෙන තුරු අපනයන ලේඛන සහතික කිරීම සඳහා එම අංශයට පැමිණෙන අපනයනකරුවන් ඇතුළු අමුත්තන් සඳහා සේවා සැපයීමක් සිදුනොවන බවයි විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. මාතර සහ යාපනයේ පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල ද නැවත දැනුම් දෙන තුරු වසා තැබෙනු ඇති.

මේ අතර, නඩු කටයුතු අවසන් කර පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේදී එකම ජල බෝතලයෙන් ජලය පානය කළ පානදුර – දකුණ පොලීසියේ පොලිස් සැරයන්වරයෙකු සහ සිවිල් ආරක්ෂක බලකා නිලධාරිනියකට නිරෝධායනය නීති යටතේ නඩු පැවරීමට පානදුර මහේස්ත්‍රාත්වරයා ඊයේ කටයුතු කළා.

ගත වූ පැය 24රේ ඇඳිරි නීතිය කඩ කළ 83 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 596 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, වාහන 76ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි.