Breaking News

උසස් පෙළ විභාගය අදින් ඇරඹේ

 





අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් ඇරඹෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා පැවසුවේ, මධ්‍යස්ථාන 2648 කදී අයදුම්කරුවන් 3 62, 824 දෙනෙකු මෙවර විභාගයට පෙනී සිටීමට නියමිත බවයි.

විභාග දෙපාර්තමේන්තුවට අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ සිට වෙනත් ප්‍රදේශවල විභාග මධ්‍යස්ථානවල විභාගයට පෙනී සිටින සිසුන් යොමු කළ යුතු විභාග මධ්‍යස්ථාන මෙසේයි.


ගනේමුල්ලේ පදිංචි සිසුන් – බුළුගහගොඩ ශ්‍රී විජය මහා විද්‍යාලය

යක්කල, වීරගුල සහ ගම්පහ පදිංචි සිසුන් – මිරිස්වත්ත කැප්පෙට්ටිපොළ මහා විද්‍යාලයට

කිරිඳිවැල පදිංචි සිසුන් – කිරිඳිවැල මහා විද්‍යාලය

වැලිවේරිය සහ මල්වතුහිරිපිටියේ පදිංචි සිසුන් – වැලිවේරිය මද්දුම බණ්ඩාර මහා විද්‍යාලය

දොම්පේ සහ පූගොඩ පදිංචි ගම්පහ දිස්ත්‍රික්කයෙන් පිටත විභාග මධ්‍යස්ථානයකදී විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් – දොම්පේ සියනෑ ජාතික පාසල

නිට්ටඹුව සහ වේයන්ගොඩ පදිංචි සිසුන් – නිට්ටඹුව බෞද්ධ විද්‍යාලය

මීරිගම සහ පල්ලෙවෙල පදිංචි උසස් පෙළ සිසුන් – කල්එළිය සිරි විද්‍යාකීර්ති කනිෂ්ඨ විද්‍යාලය

මිනුවන්ගොඩ සිසුන් – කොටුගොඩ රාහුල මහා විද්‍යාලය

දිවුලපිටියේ සිසුන් – දූනගහ රණසිංහ මහා විද්‍යාලය

සීදූවේ සිසුන් – මූකලන්ගමුව බණ්ඩාරනායක මහා විද්‍යාලය

ජා – ඇල සහ කඳාන පදිංචි සිසුන් – දෙහියාගාත හෝලි රොසරි විද්‍යාලය


මේ අතර විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසුවේ, පවතින තත්ත්වය හේතුවෙන් විභාග මධ්‍යස්ථාන තුළ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක බැවින් සියලු අපේක්ෂකයින් පෙරවරු 7.30 වන විට විභාග මධ්‍යස්ථානවලට පැමිණිය යුතු බවයි.

මේ අතර අද ආරම්භ වන අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් විභාග දෙපාර්තමේන්තුව විසින් තවත් උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

විභාග අපේෂකයින් සිය අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා, විභාග ප්‍රවේශ පත්‍රය සමග ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ වලංගු රියදුරු බලපත්‍රය ඉදිරිපත් කළ යුතුයි.

පැය තුනක කාලයක් වෙන්කර ඇති විභාග ප්‍රශ්න පත්‍රවල, ප්‍රශ්න තෝරා ගැනීම සඳහා අතිරේක විනාඩි 10 ක් හිමිවන බව එම උපදෙස් මාලාවේ සඳහන් ය.

සටහන් ළඟ තබාගෙන පිළිතුරු සැපයීම, වෙනත් අයගෙන් උදව් ලබාගැනීම හා උදව් දීම්, අයදුම්කරු වෙනුවට වෙනත් අයෙකු වංචනික ලෙස පෙනී සිටීම යන වැරදිවලට විභාග පනත යටතේ දඬුම් ලැබිය හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

එම නිවේදනයට අනුව, අපෙක්ෂකයින් ස්මාර්ට් අත්ඔරලෝසු, ජංගම දුරකථන හා අවසර නොලත් විද්‍යුත් උපකරණ භාවිතය ද තහනම් ය.

ඉහත වැරදි සිදුකරන විභාග අපේක්ෂකයින්ට වසර 5 ක් යනතුරු ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන සියලු විභාගවලට පෙනී සිටීම තහනම්වේ .

එමෙන් ම එම වැරදි සිදුකළේ නම්, මෙවර විභාගයේ ප්‍රතිඵල අත්හිටුවන බව ද එම නිවේදනයේ දැක්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ කොවිඩ් 19 ව්‍යාප්ති තත්ත්වය හේතුවෙන් හෝ වෙනත් රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇතිවිය හැකි හදිසි අවස්ථාවන් සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීමට සෞඛ්‍ය අංශ, ත්‍රිවිද හමුදාව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා ආරක්ෂක අමාත්‍යංශය ද මේ වනවිට දැනුම්වත් කර ඇති බවයි.

මේ අතර කොරෝනා ව්‍යාප්තියත් සමග උසස් පෙළ විභාග මධ්‍යස්ථානයන්හි පහසුකම් සැපයීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ස්ථාන භාර අතිරේක ශාලාධිපතිවරයෙකු පත්කර ඇතැයි, විභාග දෙපාර්තුමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, විභාග මධ්‍යස්ථානයන්හි පහසුකම් සැපයීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සමග සම්බන්ධවී විභාග මධ්‍යස්ථාන පරිශ්‍ර තුළ විෂබීජහරණ කටයුතු හා අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද සිදුකිරීමේ කටයුතු සඳහා අදාළ ස්ථාන භාර අතිරේක ශාලාධිපතිවරයා පත්කර ඇති බවයි.

ඒ සඳහා පත්කර ඇත්තේ, විභාග මධ්‍යස්ථානවලට අදාළ විදුහල්වල විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති හෝ ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙකි.

මේ අතර උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලු අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර මේ වන විටත් තැපැල්කර ඇතැයි, විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසී ය.

විභාග කොමසරිස් ජනරාල්වරයා පැවසුවේ පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර විදුහල්පත්වරුන් වෙත ද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ අයදුම්පතෙහි සඳහන් ලිපින වෙත ද තැපැල්කර යවා ඇති බවයි.

කෙසේ වෙතත් මේ වන තෙක් ප්‍රවේශපත්‍ර නොලද අයදුම්කරුවන් වෙතොත් අදාළ ප්‍රවේශ පත්‍රය, සිය ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කර, විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස භාගත කර ගැනීමේ පහසුකම් සලසා තිබේ.