මීගමුවේ ෆේස්බුක් සාදයේදී 30ක් අත්අඩංගුවට
මීගමුව, කොච්චිකඬේ ප‍්‍රදේශයේ නීතිවිරෝධී ලෙස සංවිධාන කර තිබූ ෆේස්බුක් සාදයක් වටලා පුද්ගලයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කොච්චිකඬේ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදීයි.
නිරෝධායන නීති උල්ලංඝණය වන අයුරින් පැවති එම සාදයට අවුරුදු 18 ත් 25 ත් අතර තරුණ - තරුණියන් 153 දෙනෙකු සහභාගී වී සිටි බවයි පොලිසිය සඳහන් කළේ.
ඒ අතරින් අනන්‍යතාවය තහවුරු කරගත නොහැකි වූ පුද්ගලයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අතරින් පුද්ගලයින් පස් දෙනෙකු සතුව තිබී ගංජා, විදේශීය දුම්වැටි සහ මත්පැන් සොයාගෙන තිබෙනවා.
අනන්‍යතාවය තහවුරු කරගත හැකි වූ අනෙක් පිරිස තරයේ අවවාද කර මුදා හැරි බවයි කොච්චිකඬේ පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර, අද උදෑසන 5.00 න් අවසන් වූ ගත වූ පැය 23 ක කාලය තුළදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 699 දෙනෙකු බස්නාහිර පළාතේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් පරිදි සිදු කළ වැටලීම්වලදීයි.
එහිදී හෙරොයින් සමග සැකකරුවන් 261 දෙනෙකු සහ ගංජා සමග සැකකරුවන් 184 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නීතිවිරෝධී මත්පැන් බෝතල් 650 ක් සමග සැකකරුවන් 166 දෙනෙකු ද එම වැටලීම්වලදී අත්අඩංගුවට ගත් බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යයාලය වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර, ඉදි කිරීම් වැඩබිම්වල ශ‍්‍රමිකයින්ට මත්ද්‍රව්‍ය ලබාදෙන බවට ලද තොරතුරකට අනුව ඊයේ දිනයේ පැය 02 කාලයක් තුළ සිදු කළ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් 48 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබූ හෙරොයින්, ගංජා, අයිස් මත්ද්‍රව්‍ය සහ නීතිවිරෝධී මත්පැන් අත්අඩංගුවට ගත් බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යයාලය සඳහන් කළේ.
එම ශ‍්‍රමිකයින්ට මත්ද්‍රව්‍ය ලබාදෙන කොන්ත‍්‍රාත්කරුවන් සම්බන්ධයෙන් දැඩි නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට නියමිතයි.