Breaking News

අප්‍රසාදයෙන් සිටින රාජ්‍ය ඇමතිවරුන්ට ජනපති කතා කරයි - වෙනසක් නොකරන බව කියයි

 අප්‍රසාදයෙන් සිටින රාජ්‍ය ඇමතිවරුන්ට ජනපති කතා කරයි - වෙනසක් නොකරන බව කියයිඇමති මණ්ඩලය පත් කිරීමේදී විශේෂයෙන් රාජ්‍ය අමාත්‍යාංශය පවරා දීමේදී ඇතැම් මන්ත්‍රීවරු තමන්ට ලැබුණු අමාත්‍ය ධූරය ගැන නොසතුටින් සිටි අතර බලාපොරොත්තු වූ පරිදි අමාත්‍යධූර නොලැබීම සම්බන්ධයෙන් ඇතැමුන් ප්‍රසිද්ධියේත් තවත් අය අප්‍රසිද්ධියේත් සිය විරෝධය දක්වා තිබුණි.

මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම අමාත්‍යවරුන්ට දුරකථන ඇමතුම් දී එම අමාත්‍ය ධුරවල ඵලදායීතාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර දී තිබේ.

දැනට ලබා දී තිබෙන අමාත්‍යාංශ හරහා ඵලදායී ලෙස කටයුතු කරන ආකාරය ගැන ජනාධිපතිවරයා පැහැදිලි කර ඇති බව සඳහන්.

ලොහාන් රත්වත්තේ,රංජිත් සියඹලාපිටිය, විජේදාස රාජපක්ෂ,දයාසිරි ජයසේකර, යන අමාත්‍යවරු කිහිපදෙනෙකුටම එලෙස ජනාධිපතිවරයා කතා කර ඇති බව කියවෙයි.

විශේෂයෙන් විජයදාස රාජපක්ෂ මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ ද නැති අතර කැබිනට් අමාත්‍යධූරයක් නොමැති නිසා දිවුරුම් දීමේ උත්සවයට පැමිණෙන අතරතුර නැවත හැරී ගොස් තිබුණි.

මේ අතර ලොහාන් රත්වත්තේ මහතාද තමන් බලාපොරොත්තු වූයේ ස්වර්ණාභරණ අමාත්‍යධූරය නොව මහා මාර්ග රාජ්‍ය අමාත්‍යධූරය බව වැඩ භාර ගනිමින් ප්‍රසිද්ධියේම පැවසීය.

එමෙන්ම විෂය පථය බෙදීමේදී ඇතැම් විෂයන් සම්බන්ධයෙන් සමාජය තුළ හාස්‍යයක් ගොඩනැගී ඇති අතර ඒ සම්බන්ධයෙන්ද අමාත්‍යවරු සිය අප්‍රසාදය පළ කර තිබේ.

කෙසේවෙතත් දැනට ලබා දී තිබෙන අමාත්‍ය ධූරවල වෙනසක් සිදුනොවන බවද වාර්තා වෙයි.