Breaking News

රසදිය ටොන් 7ක් අනාරක්ෂිත ගබඩාවක අසුරලා

 

China Eco-Friendly Blue 200 Liter Iron Drums - China Steel Drum ...



රසදිය ටොන් 7ක් (කි.ග්‍රෑ 7000ක්) පමණ හොමාගම, පිටිපන ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක දීර්ඝ කාලයක් තිස්සේ ගබඩා කරගෙන තිබීම නිසා ජන ජීවිත වලට අනාරක්ෂිත තත්වයක් ඇතිවී තිබෙන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පවසනවා.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පවසන්නේ උෂ්ණත්වය පාලනය කිරීම සදහා වායු සමීකරණය කරන ලද කන්ටේනර් තුළ මෙම රසදිය ගබඩා කර තිබුනද එය පවතින්නේ අනාරක්ෂිත තත්වයක බවය. එය තම සංගමය විසින් සිදුකල සොයාබැලීමකදීද තහවුරු වූ බවය. ඒ පිළිබඳව නිසි පරීක්ෂණයක් කරන ලෙස 2020.08.11 දිනැතිව මධ්‍යම පරිසර අධිකාරියටද ලිපියකින් යැවූ බවද ඔහු කීවේය.

මේ සම්බන්ධව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහගෙන් විමසූ විට පැවසූවේ එම සමාගම විද්‍යුත් අපද්‍රව්‍ය රැස් කිරීම සඳහා බලපත්‍රයක් ලබාගෙන ඇති බවත් අදාළ නිර්ණායක නිසි ලෙස පිළිපදිනවාද යන්න සොයා බැලිය යුතු බවත් ය.

එම අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (අපද්‍රව්‍ය කලමනාකරණ) ඉංජිනේරු උපාලි ඉන්ද්‍රරත්න කීවේ මෙම රසදිය දීර්ඝකාලීනව ගබඩා කර තබාගත නොහැකි බැවින් ඒවා වෙනත් රටකට යැවීමට හෝ ලංකාවේදී විනාශ කිරීමට එම සමාගමේ සහාය ඉල්ලා ඇති බවත් ය.

මෙම රසදිය ප්‍රතිචක්‍රිකරණයට ජපානයට යැවීමට එම රජයේ අනුමැතිය පසුගිය වසර අවසානයේ ලබාගත් බවත් ඒවා සෘජුව ජපානයට යැවීමට ක්‍රමවේදයක් ඉදිරි මාස කීපය තුළ ගනු ඇතැයිද ඉංජිනේරු උපාලි ඉන්ද්‍රරත්න වැඩිදුරටත් පැවසුවේය. මෙම රසදිය වසර 15 ක පමණ සිට CFL බල්බ ප්‍රතිචක්‍රිකරණයෙන් පසුව එකතු වී ඇති බවත් ඒවා ගබඩා කිරීමේ බලපත්‍රයද එම සමාගම ලබාගෙන ඇති බව ඔහු කීවේය.