Breaking News

එජාපයට ආදරෙයි නම් අලියාට කතිරය ගහන්න!


Ruwan Wijewardene steps down from ministerial portfolios



එක්සත් ජාතික පක්ෂය බෙදී වෙන් වී කෑලි කැඩී යනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළද එක්සත් ජාතික පක්ෂයට ආදරය කරන මිනිසුන් එයට ඉඩ නොතබන බව තමන්ට විශ්වාස යැයි එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක, එජාප. නියෝජ්‍ය මහලේකම් රුවන් විජයවර්ධන මහතා පැවසීය.

මීගමුවේ පැවැති මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමින් ඒ මහතා මේ අදහස් පළ කළේය.

එක්සත් ජාතික පක්ෂය කියන දැවැන්ත පක්ෂය බෙදා වෙන් කරන්න, කෑලි කැඩී යන හැටි බලා ඉන්න බොහෝ දෙනෙක් කැමතියි. මේ මැතිවරණයේදී එහෙම වෙනවා කියා සිතාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා. ඒත් මම විශ්වාස කරනවා එක්සත් ජාතික පක්ෂයට එදා සිටම ආදරය කරන, මේ මහා පක්ෂය විශ්වාස කරන අපේ යූ.ඇන්.පීකාරයෝ අපේ පක්ෂය ආරක්ෂා කරන්න ඉදිරියට එයි කියලා. පසුගිය කාලයේම මම මතක් කළා ඔබට ඉදිරියට එන්න කියලා. එහෙම පක්ෂය ගැන විශ්වාස නම් අගෝස්තු 05 වැනිදාට ගෙදරට වෙලා ඉන්න එපා. ඡන්ද පොළට ඇවිත් අලියා ලකුණ ඉදිරියෙන් කතිරය ගසන්න කියලා මම ඔබෙන් නැවතත් ඉල්ලා සිටිනවා.

ඔබ තමුන්නාන්සේලාට මතක් කරන්න කැමතියි මෙවර අලියා වෙනුවෙන් ඔබ පාවිච්චි කරන ඡන්දය බොහොම තීරණාත්මක එකක් බව. මහාමාන්‍ය ඩී.එස්. සේනානායකයන් බිහිකරපු පක්ෂය රැකගැනීමට ඔබ දෙන මේ ඡන්දය ඒ උතුම් මිනිසාට කරන ගෞරවයක් බවට පත්වෙනවා. මම දැඩිව විශ්වාස කරනවා මෙවර එක්සත් ජාතික පක්ෂයේ ශක්තිය අපි පෙන්විය යුතුයි කියලා. ගම්පහ අපේ ජනතාව ඒ වෙනුවෙන් සූදානම් බව පසුගිය මාසයකට අධික කාලයක් තිස්සේ මේ ගම්පහ ඡන්දදායකයන් හමු වූ විට මම තේරුම් ගත්තා. මේ මැතිවරණ සටන පටන් ගන්නකොට එ.ජා.පය ගැන අපේ පාක්ෂිකයාගේ සිතේ තිබූ දෙගිඩියාව නැති කරන්න පුළුවන් බව මම මීට මාසයකට පෙර කිව්වා. එය අද වනවිට අපි කරලා තියනවා. ඒ වෙනුවෙන් කැප වුණු සියලු දෙනාටම ස්තුතියි. ඔබ මේ කරන්නේ රටේ අනාගතය සුරක්ෂිත කරන, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන දැවැන්ත සටනක්. අපි මේ සටන කරන්නේ හිතේ හයියෙන්, එකමුතුකමින්. ඒකයි මේ සටන මෙච්චර සාර්ථක.

අපි එක්දෙයක් මතක තබාගත යුතුයි. මේ වෙනකොට ආණ්ඩුව පැත්තෙන් කියන දෙයක් තමයි ගෝඨාභය මහත්තයාට වැඩ කරන්න බලයක් දෙන්න කියලා. වැඩ කරන්න අවශ්‍ය තරම් බලයක් දැනුත් තියෙනවා. ඒත් මොනවද කරපු වැඩ. අද ආර්ථිකය කොතනද තියෙන්නෙ. ඇහුවම කියන්නේ කෝවිඩ් හින්දා කියලා. හැබැයි ඒක නෙවෙයි ඇත්ත. කෝවිඩ් ආවේ මේ ගොල්ලන්ගෙ වෙලාවට. කෝවිඩ් නැති වුණා නම් බලන්න තිබුණා මොකද වෙන්නේ කියලා. මේ බලය ඉල්ලන්නේ 2/3ක් ඉල්ලන්නෙ ව්‍යවස්ථාව වෙනස් කරන්න. බැසිල් මහත්තයාට ආයෙත් පාර්ලිමේන්තු එන්න. අයියයි මල්ලියි රට පාලනය කරනවා නම් ඇයි අගමැතිට වැඩි බලයක් තිබුණාම මොකද වෙන්නේ. ඔබතුමන්ලට ඒක හිතෙන්නේ නැද්ද? මේ හදන්නේ ඒක නෙවෙයි. මේ හදන්නෙ අර ඉස්සර තිබුණ තැනට යන්න. බලය නැතුව තමයි ජොන්ස්ටන් ඇමතිතුමා කියන්නේ කුරුණෑගල නගරාධිපතිගෙ මයිලකට අත තියන්න දෙන්නේ නෑ කියලා. බලය තිබුණ නම් කියයි බුවනෙකබාහු හිටියෙ කොහෙද, කඩලා දාපන් රාජ මාලිගාවම කියලා. මේ අපි ගමන් කරන්නේ 2015ට පෙර හිටපු කාලයට. 2/3ක් දීලා බලමු කියලා හිතන්න එපා. දුන්නොත් ඉවරයි. අවුරුදු 05කට ඉවරයි කියලද හිතන්නෙ. නෑ, එයාලා ව්‍යවස්ථාව වෙනස් කරයි. ඊට පස්සෙ සදාකාලිකව රජ වෙන්න පුළුවන් විදියේ ව්‍යවස්ථාවක් හදයි. අයියගෙන් මල්ලිට, මල්ලිගෙන් අයියට, බාප්පගෙන් පුතාට, පුතාගෙන් ලොකු තාත්තගෙ පුතාට, එහෙම බැරි නම් මස්සිනා කෙනෙකුට හරි රජ වෙන්න පුළුවන් ව්‍යවස්ථාවක් හදයි. ඔබට ඕනි එහෙම අනාගතයක්ද කියලා මම අහන්න කැමතියි.

ගම්පහ දිස්ත්‍රික්කයේ සිටින එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලම හිටපු ඇමතිවරයෙකු වුණ ජෝශප් මයිකල් පෙරේරා මහත්මයා කියලා තිබුණා එතුමා මෙවර ඡන්දය ඉල්ලන්න ආවේ නැත්තේ එක්සත් ජාතික පක්ෂයට නවකයන් අවශ්‍ය නිසා කියාල. එතුමා මගේ නම කියලා තිබුණා රුවන් වගේ අය ඉදිරියට පැමිණිය යුතු නිසා කියලා. මම ගෞරවයෙන් ඔහුට ස්තුති කරන්න කැමතියි. ජෝශප් මයිකල් පෙරේරා වගේ ගම්පහ අපේ නායකයෝ මේ ප්‍රදේශයට කළ සේවය අපට අමතක කරන්න බැහැ. ඔවුන් මේ පක්ෂය බොහෝ දුර අරන් ආවා. අද ඔවුන් තරුණයන්ට ඒ තැන දෙන්න ලෑස්තියි. ඔවුන් වැඩ කරන්නේ පවුලක් වෙනුවෙන් නෙවෙයි. පක්ෂයක් වෙනුවෙන්. ගම්පහ අපේ යූ.ඇන්.පීකාරයන්ට ආගම් භේදයක් නෑ, ජාති භේදයක් නෑ. අපි එකම පවුලක්. අපි ඒක නැවත නැවත ඔප්පු කරමින් ඉන්නවා.

එක්සත් ජාතික පක්ෂයේ ඇති වූ දෙදරීම නිසා සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයන් නොසන්සුන් වුණා. විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ සිටින එදා එක්සත් ජාතික පක්ෂය ගොඩනැගූ පිරිසගේ පරම්පරාව යම් කලකිරීමකින් සිටින බව මම දන්නවා. එහෙත් මේ දෙදරීම නිසා මේ පක්ෂය විනාශ වීමට ඉඩ දෙන්න පුළුවන්කමක් නෑ. එය දිය කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්න බැහැ. මම මේ වතාවේ සටන් කරන්නේ මේ පක්ෂය රැකගැනීමටයි. මේ සටන මා වෙනුවෙන් කරන එකක් නෙවෙයි. මේ රටේ විශාලතම පක්ෂය රැකගැනීමටයි මම සටන් කරන්නේ. එක්සත් ජාතික පක්ෂය බිහි කිරීමට පූරෝගාමී වූ ගම්පහ පරම්පරාවේ වර්තමාන සාමාජිකයෙකු ලෙස මම පක්ෂය වෙනුවෙන් සටන් කරනවා. එය තනි සටනක් වෙන්න පුළුවන්. ඒත් මම සටන් කරනවා. අන්තිම මොහොත දක්වා මම සටන් කරනවා. පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් මේ කරන සටනේදී මා පරාජයක් ගැන හිතන්නෙ නෑ.

යම්කිසි අයෙක් පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් මේ පක්ෂය කඩා බිඳ දමනවා නම් එය ඓතිහාසික වැරැද්දක් කියලා මම හැමවිටම කිව්වා. මම නැවත කියනවා. එක්සත් ජාතික පක්ෂය ඇතුළේ හිටපු නායකයො වෙන්න කැමති අයත්, නායකත්වය අත්හරින්න අකැමති අයත් සියලු දෙනා මේ ප්‍රශ්නයට පාර කැපුවා. එහෙත් ඒ නිසා මේ පක්ෂය විනාශ වෙන්න දෙන්න බෑ. ඒ නිසා අගෝස්තු 05 වැනිදා උදෑසනින් ඡන්ද පොළට එන්න. ඔබ කැපුවත් කොළ බව ඔප්පු කරන්න. මම එය ඔප්පු කරනවා. මම ඔබ දෙන මනාපය අරන් වෙන තැනකට යන කෙනෙක් නෙවෙයි. අපි එකතු වෙමු. මේ සටන ජයගමු. පරාජිතයන් මෙන් කලකිරීමෙන් ගෙදරට වෙලා ඉන්න එපා. එන්න අපි එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් යුතුකම ඉටුකරමු* යැයි පැවසීය.