Breaking News

සුනඛයින් 15 දෙනකු වස මිශ්‍ර මස් ලබාදී ඝාතනය කරලා !



සුනඛයින් 15 දෙනකු වස මිශ්‍ර මස් ලබාදී ඝාතනය කළ සංවේදී පුවතක් වවුනියාව, මාමඩුව ගම්මානයෙන් වාර්තා වනවා. ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මාමඩුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 ක හිටපු හමුදා සාමාජිකයකු මාමඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කිසියම් පුද්ගලයෙකු විසින් මස් සහිත ආහාර ද්‍රව්‍යක් ලබාදීමෙන් පසුව සුනඛයින් මියයෑම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පිරිසක් මාමඩුව පොලිස් ස්ථානය වෙත කළ පැමිණිල්ලක් විමර්ශනය කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසූයේ සැකකරු ගවපාලනය සිදුකරන අතර ඔහුගේ ගවමඩුවෙහි සිටි ගවයකු හා පැටවකු සුනඛයින් විසින් සපාකෑමෙන් අනතුරුව උරණ වී මෙලෙස වස මිශ්‍ර මස් ලබාදීමෙන් මෙම සුනඛයින් ඝාතනය කර ඇති බවට තොරතුරු අනාවරණයවූ බවයි.

එසේම මස් කැබැල්ලකට වස මිශ්‍රකර නිවාස ඉදිරිපිටට ගොස් සැකකරු නිවාස වල ඇතිදැඩි කරන සුනඛයින්ට ආහාරය සඳහා ලබාදෙන අයුරු ප්‍රදේශවාසීන් කිහිපදෙනකු දැක ඇති බවද පොලිසිය ප්‍රකාශ කරන අතර ඇතැම් නිවැසියන් සුනඛයින් මියයෑම සාමාන්‍ය රෝගී තත්වයක් බවට සිතා මියගිය සුනඛයින් වළදමා ඇති බවද පොලිසිය ප්‍රකාශ කළා.

මීට පෙරද ගවයින් සම්බන්ධ සිද්ධීන් නිසා සැකකරු නිවාස වල ඇතිකරන සුනඛයින්ට අවස්ථා ගණනාවකදී වස ලබාදී ඝාතනය කර ඇති බව ප්‍රදේශවාසීන් සඳහන් කරන අතර අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ඇපමත මුදාහැර තිබෙනවා.