Breaking News

මිනුවන්ගොඩ පද්මා ලොකු සිල්මෑණි රිමාන්ඩ්

මිනුවන්ගොඩ, බොරගොඩවත්ත ශ්‍රී සම්බුද්ධ ජයන්ති පිරිවෙනෙහි අධ්‍යාපනය ලබමින් සිටි කුඩා මෙහෙණින් වහන්සේලා තිදෙනෙකුට සහ පැවිදි වීමේ අපේක්ෂාවෙන් එම මෙහෙණි ආරාමයේ සිටි කාන්තාවකට බැන තර්ජනය කිරීම, පහර දීම සහ සාපරාධී බලහත්කාරය පා අඩන්තේට්ටම් කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු එම පිරිවෙනෙහි සහ මෙහෙණි ආරාමයේ ප්‍රධාන සිල් මෑණියන් එළඹෙන මස 11 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය ඊයේ (අගෝ. 28) පස්වරුවේදී නියම කළා ය.


පලාපත්වල පද්මා නමැති ප්‍රධාන සිල් මෑණියන්ව මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.

මෙහෙණින් වහන්සේලා ලෙස සිට සිවුරු හැර දමා ගිය දැරියන් තිදෙනාව සහ මහණ වීමේ අපේක්ෂාවෙන් සිටි කාන්තාව ඇතුළු සිවු දෙනා ද සුදුසු භාරකාරත්වයකට පත් කරන ලෙස ඉල්ලමින් මිනුවන්ගොඩ පොලිසියේ ළමා සහ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උපපොලිස් පරීක්ෂක එම්.කේ. රමණි නිලධාරිනිය ඊයේ පස්වරුවේ අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබී ය.

මෙහෙණින් වහන්සේලා ලෙස සිටි අවුරුදු 12,15 සහ 18ක් වයසැති එම දැරියන් තිදෙනා සහ මහණ වීමේ අපේක්ෂාවෙන් සිටි 32 හැවිරිදි කාන්තාව මහේහෙස්ත්‍රාත් නිල කාමරය වෙත ඉදිරිපත් කරනු ලැබී ය.

මහේස්ත්‍රාත්වරිය ඉදිරියේදී එම සිවුදෙනා විසින් ප්‍රකාශ ලබා දුන් බවට අධිකරණයේදී සඳහන් විය.

ඉන් අනතුරුව දැරියන් තිදෙනාව සහ කාන්තාව ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත ඉදිරිපත් කරන ලෙසට අධිකරණයෙන් පොලිසියට නියම කෙරිණි.

එම අධිකරණ වෛද්‍ය වාර්තා සමග දැරියන් තිදෙනා සහ කාන්තාව නැවත අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද පොලිසියට වැඩිදුරටත් නියම කෙරිණි.

රිමාන්ඩ් භාරයට පත් එම ප්‍රධාන සිල් මෑණියන් විසින් සිදු කරන ලද හිංසාවන් ඉවසාගත නොහැකිව බොරගොඩවත්තේ පිහිටි මෙහෙණි ආරාමයේ සිටි කුඩා සිල් මෑණියන් තිදෙනෙකු එම මෙහෙණි ආරාමය තුළ සිවුරු ගලවා දමා වෙනත් ඇඳුම් ඇඳ ගෙන මහණ වීමේ අපේක්ෂාවෙන් එහි සිටි කාන්තාවක් සමග ඉකුත් 24 වන දා අලුයම මෙහෙණි ආරාමයෙන් වෙනත් මෙහෙණි ආරාමයක් සොයා පළා ගොස් තිබූ බව ත් පසුව එම සිවුදෙනාව නුවරඑළිය පොලිසිය භාරයට ගෙන මිනුවන්ගොඩ පොලිසිය වෙත භාර දී තිබූ බවට ත් අධිකරණයේදී වැඩිදුරටත් සඳහන් විය.

මිනුවන්ගොඩ පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ සැරයන් වසන්ත (55562) නිලධාරියා සමග උපපොලිස් පරීක්ෂක එම්.කේ. රමණි නිලධාරිනිය පැමිණිල්ල මෙහෙය වූවා ය.

මිනුවන්ගොඩ – ටෝනි කේ. අතුකෝරළ, ඉරෝෂා දීපා