Breaking News

ලොකු මෙහෙණිගේ නපුරුකම් නිසා මෙහෙණි දැරියන් පළාගිය මිනුවන්ගොඩ මෙහෙණි ආරාමයේ කතාව

මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයේ මෙහෙණින් වහන්සේලා වැඩවසන ආරාමයකින් අතුරුදන්ව සිටි අවුරුදු 12, 15 සහ 18 බාලවයස්කාර මෙහෙණින් වහන්සේලා තුන්දෙනකු නුවරඑළිය ප්‍රදේශයෙන් හමුවී තිබෙන අතර එම ආරාමයේ  ප්‍රධාන මෙහෙණින් වහන්සේගෙන් සිදුවන පීඩා හේතුවෙන් පිරිවෙන් අධ්‍යාපනය පිළිබඳ කලකිරී එම ආරාමයේම නතරවී සිටි කාන්තාවක සමග මෙම තිදෙනා නුවරඑළියට පැමිණ ඇති බවට අනාවරණය විය.

මෙහෙණින් වහන්සේලා සමග හාලි ඇල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි කාන්තාවද නුවරඑළිය පොලිසියට පැමිණි අතර එහිදී බාල වයස්කාර මෙහෙණින් වහන්සේලා නිත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරිමේ චෝදනා මත ඇය අත්අඩංගුවට පත්ව ඇති නමුත් සිදුව ඇති සංසිද්ධිය පසුව අනාවරණය විය.

පෙරේදා (24) සිට මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයේ ආරාමයක වැඩ විසූ මෙහෙණින් වහන්සේලා තුන් නමක් සහ අනෙක් කාන්තාව අතුරුදන්ව ඇති බවට මිනුවන්ගොඩ පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.



පැමිණිල්ල සිදුකර තිබුනේ මිනුවන්ගොඩ මෙහෙණි ආරාමයේ ප්‍රධාන මෙහෙණින් වහන්සේය.

මහණ වීමට අවශ්‍ය බව පවසමින් පැමිණි තරුණිය අනෙක් මෙහෙණින් වහන්සේලා තිදෙනා රැගෙන යන්නට ඇති බවට සැක කරන බවට උන් වහන්සේ පොලිසියට ප්‍රකාශ කර තිබුණි.

පොලිසිය විසින් සිදුකරන ලද විමර්ශනවලදී හෙළිවී ඇත්තේ අදාල ආරාමයේ වැඩ වෙසෙන ප්‍රධාන භික්ෂුණිය ගෙන් සිදු වූ බව කියන අයුතු බලපෑම් මත ඔවුන් එහි සිටි වැඩිහිටි කාන්තාවක සමඟ ආරාමයන් පිටව ගොස් ඇති බවයි. අලුතින් මෙහෙණියක වන්නට ආ කාන්තාවට තරවටු කොට ඉතා පහත් අන්දමින් සැලකීම නිසා ඇය කලකිරී ආරාමයෙන් පිටව යන්නට උත්සාහ කරද්දී තමන්ටද මෙතැනින් පලායන්නට අවශ්‍ය බව කියමින් ළාබාල මෙහෙණින් වහන්සේලා ඇයගේ සරණ පතා ඇති අතර ඒ අනුව ඔවුන්ද සමග ඇය පලාගොස් තිබේ.

ආරාමයෙන් පිටව ගිය ඇය අයගේ නුවරඑළිය නගරයේ පිහිටි ඥාති නිවසකට පැමිණ ඇති අතර එම නිවැසියන් විසින් මෙම පිරිස නුවරඑළිය පොලිසියට භාරදී තිබෙයි.


අවුරුදු 12, 15 සහ 18  මෙම මෙහෙණින් වහන්සේලා තිදෙනාගෙන් දෙන්නෙකුටම දෙමාපියන් දෙන්නාම නැත. එක් අයෙකුට සිටී.
මිනුවන්ගොඩ, බොරගොඩවත්ත ප්‍රදේශයේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති පිරිවෙන නමින් පවත්වාගෙන යන මෙහෙණි ආරාමය ගැහැනු දරුවන්ගේ වදකාගාරයක් බවත්, එහි සිදුවන තාඩන පීඩන සහ අකටයුතුකම් ගැන පොලිසියද නිහඬ පිළිවෙතක් අනුගමන කර ඇති බවත් පළාගිය බාලවයස්කාර මෙහෙණින්වහන්සේ කෙනකුගේ පියා මෙසේ පවසා ඇත.

“පලාගිය මෙහෙණින් වහන්සේලා තුන්දෙනානේ වැඩිමල් මෙහෙණින් වහන්සේ මගේ වැඩිමහල් දියණිය. එයාට
මහණ වෙන්න ආසයි කියූ නිසා කැන්දලන්දේ ආරාමයක පැවිදි වුණා. ඉන් පස්සේ ඉගෙන ගැනීමට කියා
වේයන්ගොඩ මේ පිරිවෙණට එවා තිබෙනවා. දුව අතුරුදන් වූවාට පස්සේ මම මේ ආරාමයට ඇවිත් ප්‍රධාන
මෙහෙණින් වහන්සේ සමඟ වේයන්ගොඩ පොලිසියට ගියා පැමිණිල්ලක් දාන්න. එතකොට මමත් බිරිඳත් එළියේ
ඉදිද්දී මේ ලොකු මෙහෙණින් වහන්සේ සහ තවත් අය ඇතුළට ගියා.

පොලිසියේ කාන්තාවෝ ඇතුළු සියලු දෙනා ඒ මෙහෙණින්වහන්සේලා හොඳින් අඳුනන බව තේරුණා. එයාලා බොහොම එකමුතුයි. ඒ වෙලාවේ පොලිසියේ
නිලධාරිනියක් නායක මෙහෙණින් වහන්සේට කිව්වා මේ පැමිණිල්ල දැම්මොත් තියෙන ප්‍රශ්න ඔක්කොම
ඇවිස්සෙයි කියලා. ඒ නිසා පැමිණිල්ල දාන්න එපා කියලා. පොලිසිය ක්‍රියාකළේ ඒ විදියට. එදා
පැමිණිල්ල බාර ගත්තේ නැහැ. පස්සේ අපේ බලකිරීමට පසුව දා තමයි පැමිණිල්ල දැම්මේ.“



ගම්වැසි කාන්තාවක් මෙසේ පවසා තිබේ.

“මේ මෙහෙණි ආරාමයේ පැවිදි වී සිටින කුඩා මෙහෙණින් වහන්සේලාට නිතර නිරත පහර දෙනවා. ගහනවා
බනිනවා. එයාලගේ අම්මා තාත්තා පවා මතක් කරමින් බනිනවා. මීට ඉස්සෙල්ලත් ගොඩක් ප්‍රශ්න
ඇතිවුණා. මාස තුනකට ඉස්සෙල්ලත් ප්‍රශ්නයක් මතුවුණා. නමුත් බලධාරීන් කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ
නැහැ. මේ පළාගිය කුඩා මෙහෙණින් වහන්සේලා එයාලගේ අම්මලාට බාරදුන්නා කියලා තමයි කිව්වේ.
නමුත් අම්මලා තාත්තලා ආවම තමයි අපි දන්නේ වෙන දෙයක් සිදුවී තිබෙන බව.“

 තමන් භාරයේ සිටින මෙහෙනින් වහන්සේලාට අඩංතේට්ටම් කිරීමේ චෝදනා මත ප්‍රධාන මෙහෙණින් වහන්සේ අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය සඳහන් කර තිබේ.