Breaking News

නීතිපති සහ විනිසුරුවරයෙක් අතර අවුලක්


රජයේ අධිනීතීඥවරියක කොළඹ මහාධිකරණයෙන් පිටතට මාරු කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් නීතිපතිවරයා සහ මහාධිකරණ විනිසුරුවරයෙකු අතර මත ගැටුමක් ඇති වී තිබෙන බව Colombo Telegraph වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

අදාල වෙබ් අඩවියේ අභ්‍යන්තර තොරතුරු මාර්ග අනුව තහවුරු කරගත් බව පවසමින් මෙම සිද්ධිය වාර්තා කර ඇති අතර එහි දැක්වෙන්නේ සිය බලය අයුතු ලෙස භාවිත කරමින් අදාල රජයේ අධිනීතිඥවරිය මාරු කිරීමට පියවර ගන්නා ලෙස මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නීති පති සංජේ රාජරත්නම් මහතාට දැනුම් දී ඇති බවයි.

කෙසේවෙතත් අදාළ ඉල්ලීම ඉටුකිරීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු නොකිරීම හේතුවෙන් නීතිපතිවරයා සහ අදාල විනිසුරුවරයා අතර එම අර්බුද නිර්මාණය වී ඇති බවයි Colombo telegraph වාර්තාවේ දැක්වෙන්නේ.

මේ තත්ත්වය තුළ දමිත් තොටවත්ත මහතා විවෘත අධිකරණයේදී නීතිපතිවරයාට “Spineless coward” “කොන්දක් නැති බියගුල්ලෙකු” ලෙස පවසා ඇති බවද එම වාර්තාවේ සඳහන් වනවා

මෙම සිදුවීම සම්බන්ධයෙන් රජයේ අධිනීතිඥවරිය නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතාට පැමිණිලි කර ඇති අතර දෙපාර්තමේන්තුවේ ධූරාවලිය අනුව විවෘත අධිකරණයේ දී සිදු වූ මෙම සිදුවීම නීතිපතිවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් නීතිපතිවරයා මුනිවත රකිමින් සිටින බවත් මේ දක්වා අදාළ සිද්ධිය පිළිබඳව අගවිනිසුරුවරයා හෝ අධිකරණ සේවා කොමිසන් සභාව වෙත හෝ පැමිණිල්ලක් ගොනු කිරීමට කටයුතු කර නැති බවයි Colombo telegraph වාර්තා කරන්නේ.

මීට ඔහුගේ රජපාක්ෂිකත්වය හේතු වී ඇති බව ද Colombo telegraph පවසනවා.

රාජපක්ෂ හිතවාදී බවට විනිසුරුවරයාට චෝදනාවක්

ප්‍රකට චිත්‍රපට සංස්කාරක ටයිටස් තොටවත්තගේ පුත් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා වත්මන් පාලකයන්ට ප්‍රසිද්ධ පක්ෂපාතීත්වයක් දක්වන බවද Colombo telegraph වාර්තාවේ දක්වා තිබෙනවා.

ඔහු කුරුණෑගල සිට කොළඹ මහාධිකරණයට මාරු කිරීම සඳහා ද මෙම සිදුවීම හේතුවක් වූ බව එහි වාර්තා කර තිබෙනවා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ පාලක රෙජීමයට විශේෂ වැදගත්කමක් ඇති නඩු ඔහුගේ ලේඛනයේ ඇතුළත් බව දක්වන Colombo telegraph වාර්තාව එම නඩු ගොනු පිළිබඳව ද හෙළිකර තිබෙනවා.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කිරීමේ සිදුවීම

ඒ අනුව ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කළ බව පැවසෙන සිදුවීමට අදාළ නඩුවද පවතිනවා.

එක්නැළිගොඩ පැහැරගැනීමේ නියෝගය එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් ලැබුණු බව මුලින් ප්‍රකාශ කළ සාක්ෂිකරුවන් කිහිප දෙනෙකු නඩු විභාගය අතරතුර මහේස්ත්‍රාත්වරයා හමුවේ සිය පාපොච්චාරණය යළි ප්‍රතික්ෂේප කර තිබෙන බවද වාර්තා වනවා.

පාඨලී චම්පික රණවක මහතාගේ ආන්දෝලාත්මක රිය අනතුර පිළිබඳ සිදුවීම


SJB පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතාට එරෙහිව පවරා ඇති අපරාධ නඩුවේ මුලසුන දැරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තොටවත්ත මහතා තෝරා ගන්නා ලද බවයි Colombo telegraph සිය වාර්තාවෙහි දක්වා තිබෙන්නේ.

නීති විරෝධී ලෙස සතු කරගෙන සිටින අලි පැටවුන් සම්බන්ධ නඩුව


නීතිවිරෝධී ලෙස අලි පැටවෙකු සන්තකයේ තබා ගැනීම සහ අලි ජාවාරම් යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් අධිචෝදනා ලැබ සිටි මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ද මහාධිකරණ විනිසුරුවරයා ලෙස තොටවත්ත මහතා පසුගියදා නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

පාස්කු ප්‍රහාර පිළිබඳ විභාගය කරන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල

2021 සැප්තැම්බරයේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ට එරෙහි නඩු විභාග කරන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක සභාපතිවරයා ලෙස දමිත් තොටවත්ත මහතා පත් කර තිබෙනවා.