Breaking News

දේශපාලන පළිගැනීම් සොයා බැලූ ජනාධිපති කොමිසමේ නිර්දේශ බලරහිත කරන්නැයි පෙත්සමක්!

 






දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් නිකුත් කර තිබෙන නිර්දේශයක් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන රිට් පෙත්සමක් සලකා බැලීම සඳහා දින නියම කර තිබේ.


අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම සළකා බැලුනි.


දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ආර්.ආර්  රාසමානික්කම් මහතා අදාළ පෙත්සම ගොනුකර තිබුණි.


එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතීගත සංස්ථාව, එහි සභාපති, අධ්‍යක්ෂ මණ්ඩලය, දේශපාලන පළිගැනීම් පිළිබද සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, එම කොමිසමේ සාමාජික දයා චන්ද්‍රසිරි ජයතිලක, එහි සාමාජික හා හිටපු පොලිස්පතිවරයෙකු වන චන්ද්‍රා ප්‍රනාන්දු , බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඇතුළු 14 දෙනෙකු නම් කර තිබේ.


පෙත්සම්කරු පවසන්නේ වංචා සහගත චෝදනාවක් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වා වරදකරු කොට සේවයෙන් ඉවත්කළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවි කළමනාකරුවෙකු දේශපාලන පළිගැනීමට ලක් වී ඇතැයි සඳහන් කරමින් ඔහුව යළි සේවයේ පිහිටුවන ලෙස දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් නිර්දේශ කර ඇති බවය.


කොමිසම විසින් සිදුකළ එම නිර්දේශය මුළුමනින්ම නීතියට පටහැනි බවද මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දී තිබේ.


එම නිසා මෙම නිර්දේශය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඔහු අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇති බව වාර්තාකරු සඳහන් කළේය.


ඒ අනුව පෙත්සම ලබන 22 වෙනිදා සලකා බැලීමට නියමිතය.