Breaking News

බස්නාහිරින් පනින්න ගිය 49 කට කෝවිඩ්!

 





උත්සව සමයේදී බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයන්ට කොරෝනා වැ​ළඳී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා යොදන ලද පරීක්ෂාවලදී මේ දක්වා කොරෝනා වැ​ළඳී ඇති පුද්ගලයන් 49 දෙ​නෙකු හඳුනාගෙන තිබෙනවා.


ඉකුත් 18 වැනිදා සිට පෙරේදා (26දා) උදෑසන 6 දක්වා කාලය තුළ කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී මේ බව අනාවරණය කරගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.


මෙම පරීක්ෂාවන් සඳහා පුද්ගලයන් 8,000 ක් පමණ දෙනා යොමුකරගත් බවද බස්නාහිර පළාතෙන් පිටව යන ස්ථාන 11කදී මෙම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදුකළ බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවා.


සෞඛ්‍ය නිලධාරීන් හා ආරක්ෂක නිලධාරීන්, ඔබ ගමන් ගන්නා වාහනය නතර කොට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සඳහා ඔබ යොමු කළහොත් ඒ සඳහා උපරිම සහාය එම නිලධාරීන්ට ලබාදෙන ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


එවන් පරීක්ෂාවක් සිදුකරන්නේ ඔබට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වුවහොත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට හා අනෙක් පුද්ගලයන්ගෙන් ඔබව වෙන්කර තැබීමට බවත්, ඔබ ගමන් කරන ප්‍රදේශයට මෙම රෝගය ගෙන යෑම වළකාලීම සඳහා බවත් ඔහු පැහැදිල කරනවා.