Breaking News

බයිඩ්න්ගෙන් දින 100 ක පොරොන්දුවක්

 





අමෙරිකාවේ තේරී පත්ව සිටින ජනාධිපති ජෝ බයිඩ්න් කොවිඩ් 19 වසංගතයෙන් අමෙරිකානු ජනතාව බේරා ගැනීම සඳහා දින 100 ක පොරොන්දුවක් දී තිබේ.


බයිඩ්න් පවසා ඇත්තේ, තමා ජනපති ධුරයේ රාජකාරී භාර ගැනීමෙන් පළමු දින 100 තුළ අමෙරිකානු ජනතාව වෙනුවෙන් මිලියන 100ක කොවිඩ් එන්නත් ලබා දෙන බවටයි.


බයිඩ්න් වැඩිදුරටත් පවසා ඇත්තේ, ජනපති ධුරය භාර ගත් සැනින් කොවිඩ් වසංගතය රටින් තුරන් නොහැකි වුවත් Covid-19 වෛරසය පාලනය කිරීමට පියවර ගන්නා බවයි.


ඩෙලවෙයාර්හිදී ඔහුගේ සෞඛ්‍ය ලේකම් ධුරයට කැලිෆෝනියාවේ නීතිපති සේවියර් බෙකරා සහ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානවල ප්‍රධානියා ලෙස රොචෙල් වැලෙන්ස්කි නිර්දේශ කිරීම වෙනුවෙන් පැවති වැඩසටහනක් අතරතුර ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ජෝ බයිඩ්න් මේ බව පවසා ඇත.


”මාගේ පළමු දින 100 තුළ Covid-19 වෛරසය අමෙරිකාවෙන් තුරන් කළ නොහැකි වෙයි. මට එවැන්නක් පොරොන්දු වෙන්න බැහැ. නමුත් අමෙරිකානුවන්ගේ ජීවිත යහපත් අතට හැරවීමට දින 100 ක් තුළ අපට රෝගයේ ගමන් මග වෙනස් කළ හැකියි.”


කෙසේ වෙතත් බයිඩ්න් පසුගිය සතියේ චෝදනා කර සිටියේ, කොවිඩ් එන්නත් වැඩසටහනට අදාළව ට්‍රම්ප් පාලනාධිකාරිය තමාට කිසිදු සැලැස්මක් ලබා දී නොමැති බවයි.


මේ අතර පසුගිය දා රාජකාරී ඇරඹීමට නියමිත නව ජනාධිපතිවරයා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හඳුන්වා දෙමින් අමෙරිකානු ජනතාවගෙන් ඉල්ලා සිටියේ පළමු දින 100 තුළ මුව ආවරණ පළඳින ලෙසයි.


මේ අතර එන්නත් වැඩසටහන පිළිබඳව අදහස් පළ කරමින් ජනාධිපති ට්‍රම්ප් පැවසුවේ, එන්නත අවශ්‍ය කරන සෑම අමෙරිකානුවෙකුට එය ලබා ගැනී‌මේ හැකියාව පවතින බවයි. තව ද ට්‍රම්ප් පරිපාලනයේ ඉලක්කය ජනවාරි මාසයේ මැද වන විට පුද්ගලයින් මිලියන 24කට එන්නත ලබා දීමයි.


එක්සත් ජනපද නියාමකයින් පසුගිය දා තහවුරු කළේ, Pfizer/BioNTech කොවිඩ් එන්නත 95% ක් ඵලදායී වන අතර එය හදිසි භාවිතය සඳහා අනුමත කිරීමට සුදුසු බවටයි.


කෙසේ වෙතත් එරට ආහාර හා ඔෂධ පරිපාලනය (FDA) එන්නත අනුමත කිරීම පිළිබඳ විධිමත් තීරණයක් ගැනීම සඳහා හෙට (10) දිනයේ රැස්වීමට නියමිත ය.


මෙම එන්නතෙන් පූර්ණ ආරක්ෂාවක් ලබා දීම සඳහා මාත්‍රා දෙකක් අවශ්‍ය වුව ද, පළමු එන්නත වඩාත් දරුණු අවස්ථාවලින් 89% ක රැකවරණයක් ලබා දෙනු ඇති.


එන්නත නිෂ්පාදනය කළ සමාගම් පවසන්නේ, එන්නත් කරන ස්ථානයේ රතු පැහැය හෝ ඉදිමීම, කෙටි කාලීන තෙහෙට්ටුව, හිසරදය සහ මාංශ පේශි වේදනාව වැනි සමහර අතුරු ආබාධ වාර්තා වූ නමුත් ඒවා මෘදු ලෙස සලකන බවයි.


අමෙරිකා එක්සත් ජනපදයෙන් මේ වනවිට වාර්තාගත මිලියන 15 ක කෝවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 285,000 ඉක්මවා ගොස් තිබේ.


ලොව ප්‍රථමවරට අමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝ එන්ටෙක් සමාගම් එක්ව නිෂ්පාදනය කළ මෙම එන්නත ලබා දීම ඊයේ (08) එක්සත් රාජධානියෙන් ආරම්භ කෙරිණ.


මේ අතර එක්සත් ජනපදයේ Moderna සමාගම නිෂ්පාදනය කළ එන්නත ද සාර්ථකත්වයත් පෙන්නුම් කර ඇති අතර නත්තලට පෙර ඒ සඳහා FDA අනුමැතිය ලබා ගැනීමට ද අපේක්ෂා කෙරේ.