Breaking News

බදියුදීන්ට වැඩ වරදි! - පුද්ගලික ධනයෙන් විල්පත්තුව යලි වවන්නැයි අධිකරණයෙන් නියෝග

 





හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ මූලිකත්වයෙන් විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපයේ කල්ලාරු රක්ෂිතය එළිකොට අනවසර ජනාවාස ඉදිකිරිම නීතිවිරෝධි බව අභියාචනාධිකරණය අද (16) තීන්දු කළේය.

එම නඩුවට අදාල තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ, වනය එළිකර ජනාවාස ඉදිකළ ප්‍රදේශවල හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සිය පෞද්ගලික වියදමින් නැවත ගස් සිටුවීමට පියවර ගතයුතු බවය.

2015 වර්ෂයේදී “පරිසර යුක්ති කේන්ද්‍රය” මගින් ගොනුකළ පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කළේය.

තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.

ඒ අනුව විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපයයේ, කල්ලාරු වනාන්තරය එළිකොට අනවසර ජනාවාස ඉදිකිරිම නීතිවිරෝධි බව අධිකරණය තීන්දු කරනු ලැබීය.

එමෙන්ම එළිපෙහෙළි කළ වනාන්තර කලාපයේ ජනාවාස සෑදූ ප්‍රදේශවල සිය පෞද්ගලික වියදමින් ගස් සිටුවීමට පියවර ගන්නා ලෙසද අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා වෙත නියෝග කෙරුනි.

ඊට අමතරව පැමිණිලි පාර්ශ්වයේ නඩු ගාස්තු ගෙවීමට පියවර ගන්නා ලෙසද අධිකරණය විසින් පෙත්සමේ වග උත්තරකාර පාර්ශ්වයට නියෝග කර තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශව කිහිපයක් නම් කර තිබුණි

විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපවලට ආසන්නයේ පිහිටි කල්ලාරු රක්ෂිත වනාන්තර කලාපයේ අක්කර 2,388 ක් එළිකර එහි අනවසර ඉදිකිරීම් සිදුකිරීම තුළින් විශාල පාරිසරික හානියක් සිදුවී ඇති බව පෙත්සම ඉදිරිපත් කරන පරිසර යුක්ති කේන්ද්‍රය පැවසීය.

එබැවින් අදාළ වනාන්තර කලාපය තුළ තවදුරටත් එළි කිරීම් සිදුකර අනවසර ඉදිකිරීම් කිරීම වැළැක්වීමට තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔවුන් මෙම පෙත්සම ගොනුකර තිබුණි.

මෙම නඩුවේ විභාගය අවසන් කොට ඉකුත් 2019 වසරේ අගෝස්තු මස තීන්දුව ප්‍රකාශය කිරීමට නියමිතව තිබුණත් එය විභාග කළ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා එම තීන්දුව ප්‍රකාශ කිරීමට අකැමැත්ත පළ කිරීම හේතුවෙන් අදාළ පෙත්සම මුලසිට යළි විභාග කිරීමට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා තීරණය කර කළේය.