Breaking News

කුරුනෑගල බස් නැවතුම්පලේ "නිල් චිත්‍රපටි" පෙන්නලා

 





කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම්පොළේ රූපවාහිනී යන්ත්‍රයකින් අසභ්‍ය චිත්‍රපටයක් නරඹමින් එම දර්ශන තම ජංගම දුරකථනයෙන් පටිගත කොට මුහුණු පොත හරහා ප්‍රසිද්ධ කළ කුරුණෑගල මහ නගර සභාවේ නගරාරක්‍ෂකයෙක් පසුගිය සෙනසුරාදා (07දා) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව කුරුණෑගල මූලස්ථාන පොලිසිය පවසයි.

කුරුණෑගල, උඩවල්පොළ ප්‍රදේශයේ පදිංචි සැකකරු 24 හැවිරිදි තරුණයෙකි.

මුහුණු පොතෙහි සැරිසරන එම වීඩියෝව දුටු කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ විසින් වහාම මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන ලෙසට කුරුණෑගල නාගරික කොමසාරිස්වරයාට දැනුම් දී ඇත.

ඒ අනුව කුරුණෑගල නාගරික කොමසාරිස් ප්‍රදීප් තිලකරත්න නගර සභාවේ ප්‍රධාන ආරක්‍ෂක නිලධාරියාගෙන් අදාළ නගර ආරක්‍ෂකයා පිළිබඳ තොරතුරු ලබාගෙන මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණිලි කර ඇත.

එම පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය අදාළ නගර ආරක්‍ෂක භටයා සහ ඔහු මෙම කාර්යයට භාවිත කළ දත්ත ගබඩා උපකරණය හා ජංගම දුරකථනය ද සමග අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු හා භාණ්ඩ කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉකුත් 7 වැනිදා ඉදිරිපත් කෙරිණි. කුරුණෑගල අතිරේක මහෙස්ත්‍රාත් කීර්ති දුනුසිංහ සැකකරුට දැඩි ලෙස අවවාද කොට රුපියල් පන්දහසක මුදල් දඩයක් හා රුපියල් ලක්‍ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීයේය.

වැඩිදුර නඩු විභාගය 2021 ජනවාරි 21 වන දින නැවත කැඳවිණි.