Breaking News

ජෝ බයිඩන් ඇමෙරිකානු ජනපති පුටුව අභියස

 






අමෙරිකානු ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය නිකුත් වීම තරමක් ප්‍රමාද වනු ඇති බවට මත පළවී තිබූ පසුබිමක මෙතෙක් ප්‍රකාශිත නිල ඡන්ද ප්‍රතිඵලවලට අනුව ජෝ බයිඩ්න් ඡන්ද විද්‍යාල 264ක් ලබාගනිමින් ඉදිරියෙන් පසුවනවා.

ඡන්ද ගණන් කිරීමේ කටයුතු තවමත් සිදුවන අතර මේ වනවිට වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කර ඇති ඡන්ද විද්‍යාල සංඛ්‍යාව 214ක්.

ලොව සුපිරි බලවතා ලෙස සැලකෙන අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා තෝරාගන්නා මැතිවරණයේ තීරණාත්මක බලවේගයවන්නේ ඡන්ද විද්‍යාලය පදනම් කරගත් ප්‍රතිඵලයයි.

ඒ අනුව ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට නම් ප්‍රාන්ත 50ක් පදනම් කරගත් ඡන්ද විද්‍යාල 538න් එක් අපේක්ෂකයෙකු ඡන්ද විද්‍යාල 270ක බහුතරයක් තමන් සතුකර ගත යුතු වනවා.

එසේම ඡන්ද විද්‍යාල පදනම් කරගත් ක්‍රමවේදයේදී කැපී පෙනෙන බලපෑමක් සිදුකළ හැකි ප්‍රාන්ත ලෙස සැලකෙන කැලිෆෝනියා, වොෂිංටන්, නිව්යෝර්ක් මෙන්ම, ඉලිනෝයි යන ප්‍රාන්තවල ජයග්‍රහය තහවුරු කරගත්තේ ඩිමොක්‍රොටික් අපේක්ෂක ජෝ බයිඩන් වීම විශේෂත්වයක්.

පොලිස් අත්අඩංගුවේ සිටියදී නිරායුධ කළු ජාතික තරුණයෙකුගේ ගෙල සිරකර මරා දැමීමේ සිදුවීම වාර්තා වූ මිනෙසෝටා ප්‍රාන්තයේ ලක්ෂ 16කට අධික පිරිසක් ජෝ බයිඩ්න්ට පක්ෂව ඡන්දය භාවිත කර තිබීම විශේෂත්වයක්.

මෙවර පැවැති ජනාධිපතිවරණය ඉතිහාසගත වන්නේ ගෙවුණු සියවසක කාලයේදී අමෙරිකාවේ වැඩිම ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවක් සටහන් වන ජනාධිපතිවරණය ලෙසයි.

යම් හෙයකින් ඩිමොක්‍රොටික් අපේක්ෂක 77 හැවිරිදි ජෝ බයිඩන් අමෙරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුවහොත් අමෙරිකානු ඉතිහාසයේ ජනාධිපති ධුරයක දිවුරුම් දෙන වයස්ගතම පුද්ගලයා වන්නේ ඔහුයි.

එසේම වසර 28කට පසු බලයේ සිටින ජනාධිපතිවරයෙකු පරදා ප්‍රතිවාදී අපේක්ෂකයෙකු ලබන ජයක් ලෙස එය ඉතිහාසයේ සටහන් වනු ඇති.