Breaking News

පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ අද ජනතා අයිතියට!

 





පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය අද (20) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.

වෙළෙඳසැල් 1192 ක් සහ වාහන 600 ක් නැවැත්වීමේ පහසුකම් සහිත රථ ගාලකින් මෙම නව මැනිං වෙළෙඳ සංකීර්ණය සමන්විත වේ.

මීට අමතරව සේවකයින් සඳහා විවේකාගාර, වෛද්‍ය පහසුකම් සැපයීමේ මධ්‍යස්ථාන, බැංකු, ආපනශාලා, අධිශීත ගබඩා, හෝටල් ඇතුළු පහසුකම් රැසකින් මෙම නව මැනිං වෙළෙඳ සංකීර්ණය සමන්විත වීම විශේෂත්වයකි.

කොළඹ නගරයේ පවතින අධික රථවාහන තදබදයට එක් විසඳුමක් ලෙස හා ජනතාවගේ පහසුව ඇතුළු අරමුණ කිහිපයක් වෙනුවෙන් කොළඹ මත්ස්‍ය තොග වෙළෙද සංකීර්ණය පෑලියගොඩ ස්ථාපනය කිරීමට 2011 වසරේ එවකට පැවති ආණ්ඩුව කටයුතු කළේය.

මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය පෑලියගොඩට ගෙනයන අවස්ථාවේදී ම මැනිං වෙළෙඳ සංකීර්ණය ද පෑලියගොඩ ස්ථාපිත කිරීමට මූලික සැලසුම් සකස් කෙරුණු අතර ඒ අනුව 2013 වසරේදී මෙහි ඉදිකිරීම් ආරම්භ කෙරුණි.

පෑලියගොඩ හුවමාරුව සමඟ දිවයිනේ සෑම ප්‍රදේශයකටම ගමන් කරන අධිවේගී මාර්ග සම්බන්ධ වීම හේතුවෙන් ඉතා පහසුවෙන් එළවළු ඇතුළු ආහාර ද්‍රව්‍ය කොළඹට ගෙන ඒමට සහ කොළඹින් පිට ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීමට අවස්ථාව හිමි වේ.

එම නිසා කොළඹ නගරයේ සහ අනෙකුත් මාර්ගවල වාහන තදබදය අවම වීමට මෙය බලපෑමක් වන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සඳහන් කළේය.