Breaking News

විපක්ෂයේ දෙදෙනෙකු ආණ්ඩුවේ අසුන්ගනී!

 







විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් සමගි ජන බලවේගයේ ඩයනා ගමගේ සහ අරවින්ද කුමාර් යන දෙදෙනාට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ආසන ලබා දීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ (16 වැනිදා) තීරණය කර තිබෙනවා.

ඒ අනුව අරවින්ද කුමාර් මන්ත්‍රීවරයාට සභාවේ ආණ්ඩු පක්ෂය පැත්තේ පස්වැනි පේළියේ ටිරාන් අලස් මන්ත්‍රිවරයාගේ ආසනයට යාබද ආසනය ලබා දෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළා.

ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් මැතිසබයේ ආණ්ඩුව පැත්තේ නොමැති නිසා ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසකට විපක්ෂය පැත්තේ පසුපෙළ අසුන් පනවා තිබෙනවා.

සමගි ජන බලවේගයෙන් නෙරපා හැරි ඩයනා ගමගේ මන්ත්‍රීවරියද මෙම මන්ත්‍රීවරුන් සමග අසුන් ගැන්වීමට තීරණය කළ බව වේත්‍රධාරීවරයා සඳහන් කළා.

20 සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් සමගි ජන බලවේගයේ සෙසු මන්ත්‍රීවරුන්ටද විපක්ෂය පැත්තේම වෙනම ස්ථානයක අසුන් පැනවීමට තීරණය කළ බව කී හෙතෙම ඒ අනූව මෙම මන්ත්‍රීවරුන් අද (17 වැනිදා) සිට නව ආසනවල අසුන්ගනු ඇති.

පක්ෂයේ තීරණයට පටහැනිව යමින් 20 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගයෙන් නෙරපා හැර ඇති නිසා ඔවුන්ට සභාවේ වෙනම අසුන් පනවන ලෙස විපක්ෂයේ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල කළ ඉල්ලීමට අනුව කථානායකවරයා මෙම තීරණය ගෙන තිබෙනවා.

මේ අතර ජාතික සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමේ ලිපිය ඇය වෙත යොමු කර තිබෙනවා. 2020 නොවැම්බර් මස 12 වැනිදා දාතමින් යුතු මෙම ලිපිය යොමුකර ඇත්තේ සමගි ජන බලවේගයේ සභාපති සජිත් ප්‍රේමදාසගේ අත්සනිනි.

සමගි ජන බලවේග ව්‍යවස්ථාවේ 15,1 (අ) වගන්තිය යටතේ තමාවෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මන්ත්‍රීවරියගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන බව එම ලිපියේ සඳහන්වේ. ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ, පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණු 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ලබාදීමට සමගි ජන බලවේගය තීරණය කර තිබියදී ඊට පටහැනිව යමින් අදාළ සංශෝධනයට පක්ෂව ඡන්දය භාවිත කිරීමයි.