Breaking News

වාහන තදබදය අවම කිරීමට නව වැඩපිළිවෙලක්!

 





කොළඹ නගරයේ වාහන තදබදය අවම කිරීම සදහා රථ ගාල් 8ක් ඉදිකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබෙනවා. 

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදියි. එහි පළමු අදියර කොළඹ කොටුව ටෙලිකොම් ආයතනය පසුපස පිහිටි රථගාලේදී ආරම්භ කළ බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පැවසුවේ. 

එම ස්ථානයේ ඉදිකෙරෙන්නේ මහල් 10කින් යුත් රථගාලක්. එහි වාහන 252ක් නවතා තැබීමේ පහසුකම් පවතිනවා. ඒ සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 1113ක්. අදාළ මුදල නාගරික සංවර්ධන අධිකාරිය විසින් වැය කිරීම විශේෂත්වයක් වන අතර රාජ්‍ය ආයතනයක් මගින් ඉදිකරනු ලබන ප‍්‍රථම බහුවිධ රථගාලද මෙය වනවා. 

එහි බිම් මහලෙහි විශාල ප‍්‍රමාණයේ සාප්පූ සංකීර්ණයක් ඉදිකිරීමටයි සැලසුම් කර ඇත්තේ. 

දෙවන මහලේ කොළඹ කොටුව පොලීසිය ස්ථාපිත කිරීමට නියමිතව තිබෙනවා. 3 වන මහලේ සිට 9 වන මහල දක්වා වාහන නවතා තැබිමට හැකි අතර දසවන මහලේ නිවාස 7ක් ඉදිකිරීමට නියමිතයි. එම රථගාලේ ඉදිකිරීම් වසර 4ක් තුළ නිම කිරීමට නියමිත බවයි නාගරික සංවර්ධන අධිකාරිය පැවසුවේ.