Breaking News

ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් තවත් ඉහලට

 





ඊයේ හමුවූ ආසාදිතයින් 11 දෙනාද සමගින් මෙරටදී මෙතෙක් හඳුනාගෙන ඇති කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3374 දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් 11 දෙනෙකු ඊයේ (29) දිනය තුළ ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේය.

ඕමාන් හි සිට පැමිණි 07 දෙනෙකු ජර්මනිය, ලෙබනනය, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි එක් අයෙකු බැගින් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

මෙරට තවදුරටත්  නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 131 දෙනෙකු වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේය.

මේ අතර විදෙස් රටවල් තුනක සිට ශ්‍රී ලාංකිකයින් 339 දෙනෙකු අද (30) අළුයම දිවයිනට පැමිණ තිබේ.

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට ශ්‍රී ලාංකිකයින් 287 දෙනෙකු මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණි බවට වාර්තාකරු පැවසුවේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයින් 47 දෙනෙකු සහ ඉන්දියාවේ මුම්බායි නුවර සිට ශ්‍රී ලාංකිකයින් 05 දෙනෙකු ද කටුනායක ගුවන්තොටුපළ ඔස්සේ නැවත මෙරටට පැමිණ තිබේ.

මේ අතර අද දින විදෙස්ගතව සිටි 342ක් මෙරටට පැමිණ ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්තවිත මධ්‍යස්ථානය පවසයි.

ඩුබායි සිට පුද්ගලයින් 47ක්, දෝහා සිට තිදෙනෙක්, ඔස්ට්‍රේලියාවේ සිට පුද්ගලයින් 287ක් හා ඉන්දියාවේ සිට පුද්ගලයින් පස් දෙනෙක් මෙලෙස දිවයිනට පැමිණ තිබේ.

ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 343ක් අද දිනයේ නිවෙස් වෙත පිටව යෑමට නියමිතය.

මේ අතර, අද වන විට ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 74ක පුද්ගලයින් 7,132ක් නිරෝධායනය වෙමින් සිටී.

ඊයේ දිනය තුළ පීසීආර් පරීක්ෂණ 1600ක් සිදුකර ඇති අතර, මෙරට සිදුකර ඇති සමස්ථ පරීක්ෂණ ගණන 285,457කි.