Breaking News

'පාම් ගෙඩි' විෂ වී පන්නිපිටිය ධර්මපායේ සිසුන් රෝහලේ

 





පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 16 දෙනෙකු අසාත්මිකතාවක් හේතුවෙන් ඊයේ (16) හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ.

රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, සිසුන් 10 දෙනෙකු හා සිසුවියන් 6 දෙනෙකු ඒ අතර වන බවය.

8 හා 9 ශ්‍රේණිවල ඉගෙනුම ලබන එම සිසු සිසුවියන් විද්‍යාල භූමියේ තිබෙන 'පාම් ගස්'වල ගෙඩි යොදාගෙන විනෝදයට සෙල්ලම් කරමින් සිටියදී ඇති වූ හුස්ම ගැනීමේ අපහසුතා සහ ඇඟ කසා පළු දැමීම හේතුවෙන් මෙලෙස රෝහල්ගත කර තිබේ.

එම 'පාම් ගෙඩිවල' යුෂ ශරීරයෙහි ස්පර්ශ වීමෙන් අනතුරුව මෙම ආසාත්මිකතාව හටගෙන ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.

විද්‍යාලයේ බස් රථයෙන් සහ කොට්ටාව පොලිසියේ ස්ථානගත කර තිබුණු 1990 සුවසැරිය ගිලන් රථයකින් එම පිරිස රෝහල වෙත රැගෙනවිත් තිබේ.

රෝහල්ගත කළ සිසු සිසුවියන් 16 දෙනාගෙන් එක් සිසුවෙකු හුස්ම ගැනීමේ අපහසුතාවකින් පෙළෙන බැවින් එම සිසුවාට වැඩිදුර ප්‍රතිකාර ලබා දීමට කටයුතු කර ඇති අතර, අනෙක් අය ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව නිවෙස් කරා පිටත් කර හැරීමට කටයුතු කරන බව රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.

සිද්ධිය පිළිබඳව සොයා බැලීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කීප දෙනෙකු එම විද්‍යාලය වෙත හා රෝහල වෙත පිටත් කළ බව මහරගම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය රිසිනි මාරසිංහ මහත්මිය සඳහන් කළාය.