Breaking News

රියදුරු බලපත‍්‍ර සැකසීම යුද හමුදාවට පවරයි!






ලබන වසරේ සිට රියදුරු බලපත‍්‍ර සකස් කිරීම ශී‍්‍ර ලංකා යුධ හමුදාවට පැවැරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ(14) ප‍්‍රවාහන සේවා අමාත්‍යාංශයේදී පැවැත්වුණේ අමාත්‍ය මහින්ද අමරවීරගේ ප‍්‍රධානත්වයෙන්.

සාමාන්‍යයෙන් රියදුරු බලපත‍්‍රයක් ලබා ගැනීමේ දී ඒ සඳහා රුපියල් 1,340ක් වැනි මුදලක් ගෙවීමට සිදු වන අතර පුද්ගලික සමාගමක් වෙත පවරා ඇති රියදුරු බලපත් නිකුත් කිරීමේ කොන්ත‍්‍රාත්තුව හේතුවෙන් මෙරටට හිමි විය යුතු අති විශාල මුදලක් වාර්ෂිකව විදේශයන්ට ඇදී යන බව ද එහිදී සාකච්ඡාවට ලක් වුණා.

ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න එහිදී කියා සිටියේ ඉතාමත් අඩු මුදලකට රියැදුරු බලපත‍්‍රය සකස් කිරීමට යුද හමුදාවට හැකි බවයි.

යුද හමුදාවට කළ නොහැක්කක් නැති බවත් රියැදුරු බලපත් සකස් කිරීමේ කටයුතු ඉටු කිරීමට ශී‍්‍ර ලංකා යුධ හමුදාව සූදානම් බවත් යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එහිදී ප‍්‍රකාශ කළ බවයි මගී ප‍්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍යාංශය සඳහන් කළේ.

එම කටයුතු සම්බන්ධීකරණය සඳහා යුධ හමුදාව සහ ආරක්ෂක අමාත්‍යාංශය ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට ප‍්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර එහිදී පියවර ගෙන තිබෙනවා.