Breaking News

මීගමුව බන්ධනාගාරයේ වැටලීමකදී ජංගම දුරකතන 25 ක් !



මීගමුව බන්ධනාගාරයේ සිදුකළ තවත් වැටලීමකදී ජංගම දුරකතන 25 ක් සොයාගෙන තිබෙනවා. එම වැටලීම සිදුකළේ මීගමුව බන්ධනාගාරයේම නිලධාරීන් පිරිසක් විසින්.
එම බන්ධනාගාරයේ දෙකේ වාට්ටුවේ සිවිලිම මත මෙම ජංගම දුරකතන සඟවා තිබු බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. එම වාට්ටුවේ රඳවා සිටි 40 කට ආසන්න රැඳවියන් පිරිසක් ඉන් පිටතට ගෙන වාට්ටුව පරීක්ෂා කර තිබුණා. 
මේ අතර කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ G2 වාට්ටුවේ තිබි ජංගම දුරකතන 4 ක් සොයාගෙන තිබෙනවා.
එම ජංගම දුරකතන වාට්ටුවේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ යැයි කියන ‘‘ගැට්ටා’’ නමැත්තාට අයත් බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.
මේ අතර කුරුවිට බන්ධනාගාරයේ රඳවා සිටින සිය සැමියාට ලබාදීමට හෙරොයින් රැගෙන පැමිණි කාන්තාවක් බන්ධනාගාර නිලධාරීන් සිය භාරයට ගෙන පොලිසියට භාරදී තිබෙනවා.
ඇය සිය සැමියාට ලබාදීමට තුවායක් රැගෙන විත් ඇති අතර එහි වාටියේ සූක්ෂම ලෙස සඟවා හෙරොයින් රැගෙන විත් තිබු බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. 
බන්ධනාගාරගතව සිටින රැඳවියන් බැලීමට ඊයේ සිට අමුත්තන්ට ඉඩ සලසා තිබෙනවා. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රැඳවියන් බැලීමට ඔවුන්ගේ පවුලේ සාමාජිකයෙකුට පමණක් සතියකට එක් වරක් අවස්ථාව සැලසෙනවා. සිරදඬුවම් විඳින සිරකරුවන් බැලීමට ඔවුන්ගේ පවුලේ සාමජිකයෙකූට පමණක් අවස්ථාව හිමිවන්නේ මසකට එක් වරක් පමණයි.