Breaking News

ආනයනික පොල් තෙල්වල පිළිකා කාරක ඇති බව යළි තහවුරු වේ

 






මතභේදයට තුඩුදුන් ආනයනික පිරිපහදු නොකළ පොල් තෙල් තොගවල “ඇෆ්ලටොක්සින්“ නමැති ප්‍රබල පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බවට දෙවන වරටත් තහවුරු වී තිබේ.


ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සඳහන් කළේ, සමාගම් 03ක් විසින් ඉදිරිපත් කළ අභියාචනා මත සාම්පල දෙවන වර පරීක්ෂාව සිදුකිරීමේදී මේ බව තහවුරු වූ බවය.


ඒ අනුව තෙල් තොග සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා එම වාර්තා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කර තිබේ.


“ඇෆ්ලටොක්සින්“ නමැති ප්‍රබල පිළිකා කාරකය අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාශයේ ආහාර ආරක්ෂණ ඒකකය තහවුරු කළ පිරිපහදු නොකළ පොල් තෙල් කිලෝග්‍රෑම් 183,000 ක් අඩංගු බහාලුම් 13 ක් රේගුවෙන් නිදහස් කරගෙන ඇති බවට පාර්ශ්ව කිහිපයක් පසුගියදා හෙළිදරව් කළේය.


කෙසේවෙතත් රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ, තත්ත්ව පරීක්ෂණ වාර්තා ලැබෙනතුරු එම බහාලුම් නිදහස් කර තිබුණේ අදාළ සමාගම්වල ගුදම් වෙත පමණක් බවය.


මෙවැනි පසුබිමක එම සමාගම් සිදුකළ අභියාචනා මත, පිරිපහදු නොකළ පොල්තෙල් සාම්පල දෙවැනි වරටත් පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කටයුතු කළේය.


ඒ අනුව අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගම, එදිරිසිංහ එඩිබල් ඔයිල්ස් හා කටාන රිෆයිනරීස් යන සමාගම් ආනයනය කළ පිරිපහදු නොකළ තෙල්තොගවල “ඇෆ්ලටොක්සින්“නමැති ප්‍රබල පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බවට දෙවන වරටත් සනාථ වූ බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සඳහන් කළේය.


ඒ අනුව බහාලුම් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා එම වාර්තා වාර්තා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කර තිබේ.


ඒ අනුව අදාළ සමාගම්වලට තෙල්තොග ප්‍රතිඅපනයනය කිරීමට සිදුවනු ඇත.


ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් 2021.03.26 වන දින නිකුත් කළ නිවේදනයක සේන මිල්ස් රිෆයිනරීස් සමාගම සඳහන් කර තිබුණ ද පසුව පැවසුවේ එම සමාගම ඊට සම්බන්ධ නොවන බවය.