Breaking News

කොළොන්නාව තෙල් සමාගමේ සේවකයන් 14කට කොරෝනා

 





කොළොන්නාව ඛනිජ තෙල් සමාගමේ සේවකයන් 14 දෙනෙකුට Covid-19 වයිරසය ​ආසාදනය වී ඇති බව අනාවරණය වීමත් සමග ඛනිජ තෙල් සේවකයන් හරහා වයිරසය රට පුරා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් උද්ගතව ඇතැයි ජාතික සේවක සංගමයේ නියෝජ්‍ය සංවිධායක ආනන්ද පාලිත පවසයි.


පෞද්ගලික රෝහලක් හරහා කඩිනමින් PCR පරීක්ෂණ සිදුකර වාර්තා ලබාගැනීම අත්හිටුවා රාජ්‍ය අංශයෙන් එම පරීක්ෂණ සිදුකරගත යුතු බවට ආයතනයේ පාලනාධිකාරිය නියෝග කර තිබීම හේතුවෙන් ආසාදිතයන් අනාවරණය කර ගැනීමද ප්‍රමාද වී ඇතැයි නියෝජ්‍ය සංවිධායකවරයා පෙන්වා දෙන බව ‘අරුණ’ වෙබ් අඩවිය වාර්තා කරනවා.


දැන් කඩිනමින් වාර්තා ලබාගත හැකි පෞද්ගලික අංශය ඉවත් කරලා රජයෙන් PCR කළ යුතුයි කියලා ආයතනයේ පාලනාධිකාරිය නියෝග කරලා. පෙරේදා (19 වැනිදා) වන විට සේවකයන් දාහතරකට රෝගය වැලඳිලා.


සියලුම සේවකයන්ගෙන් තවමත් PCR කරලා තියෙන්නේ හතළිස් අටකට විතරයි. ආයතනය සතුව විශාල ලෙස මුදල් තියෙනවා. එහෙම තියෙද්දී රාජ්‍ය අංශයෙන් PCR අනිවාර්යයෙන් කළ යුතුයි කියමින් මේ කටයුත්ත ප්‍රමාද කිරීම බරපතළ ගැටලුවක්. ඒ වගේම තෙල් ප්‍රවාහනයෙන් සියයට අසූපහක්ම සිදුකරන්නේ පෞද්ගලික බවුසර් රථවලින්. ඒවායේ රියැදුරන් හරහා රට පුරා රෝගය ව්‍යාප්තවීමේ බරපතළ අනතුරක් තියෙනවා.