Breaking News

රටවල් කිහිපයකට චීනයෙන් තර්ජන! "ඔවුන් ප්‍රවේසම් විය යුතුයි නැතහොත් ඇස් උගුල්ලනවා"

 





චීනය විසින් එක්සත් රාජධානිය, අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ කැනඩාවට එරෙහිව දැඩි දෝෂාරෝපණ එල්ලකර තිබේ.

ඒ, හොං කොං හි විවේචකයින් නිෂ්ශබ්ද කිරීමට චීනය ක්‍රියාකරන බවට එම රටවල් 5 චෝදනා කිරීම හේතුවෙනි.  

එම රටවල් 5, ඇස් පහේ සන්ධානය ලෙස හඳුන්වයි. නව නීති හඳුන්වා දී මෑතකදී තේරී පත්වූ මන්ත්‍රීවරු ඉවත්කිරීමට චීනය විසින් නව නීති හඳුන්වාදීම එම සන්ධානයේ විවේචනයට ලක්ව තිබේ.  

එම තීරණය හකුළා ගන්නා ලෙස එක්සත් රාජධානිය, අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ කැනඩාව චීනයට බලකරයි.

චීන විදෙස් කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් එම රටවලට අනතුරු අඟවුයේ චීනයේ කටයුතු වලින් ඉවත්ව සිටින ලෙසය.

"ඔවුන් ප්‍රවේසම් විය යුතුයි නැතහොත් ඔවුන්ගේ ඇස් උගුල්ලනවා." "චීන ජාතිකයින් කිසිවිටෙක ගැටලු ඇතිකරන්නේ නෑ ඒ වගේම කිසිවක් ගැන බියකුත් නැහැ," යනුවෙන් ෂාඕ ලිජිඈන් මාධ්‍යවේදීන් අමතමින් බීජිං අගනුවරදී පැවසීය. "ඔවුන්ට ඇස් 5ක් හෝ 10ක් තිබ්බත් ගැටලුවක් නෑ."

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වියහැකි දේශපාලනඥයන්ව නෙරපීමට හැකියාව සලසමින් චීනය විසින් නීතියක් සම්මත කිරීමෙන් අනතුරුව පසුගිය සතියේදී, හොං කොං පාලනය විසින් ප්‍රජාතන්ත්‍රවාදයට සහාය දක්වන මන්ත්‍රීවරු සිව් දෙනෙක්ව නෙරපීය.  

ඊට ප්‍රතිචාර ලෙස සියලුම ප්‍රජාතන්ත්‍රවාදයට සහාය දක්වන මන්ත්‍රීවරු තමන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වන බව පැවසූහ. හොං කොං කලාපය 1997දී බ්‍රිතාන්‍ය විසින් චීනයට පවරන ලදී.

ඒ අනුව හොං කොං පාලනය තුළ විරුද්ධ මතධාරීන් කිසිවෙකුත් හමුනොවන්නේ පළමුවරටය.