Breaking News

මේ මාසයේ දවස් 17 ට ඩෙංගු රෝගීහු 224ක්

 





මෙම මස ගත වූ මුල් දින 17ක කාලය තුළදී දිවයිනෙන් ඩෙංගු උණ රෝගීන් 224 දෙනකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

මෙම රෝගීන්ගෙන් බහුතරය වන 74 ක් වාර්තා වී ඇත්තේ මඩකලපුව දිස්ත‍්‍රික්කයෙන් වන අතර තවත් රෝගීන් 54 ක් මහනුවර දිස්ත‍්‍රික්කයෙන් වාර්තා වී තිබේ. මෙතෙක් මෙරට වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූ කොළඹ දිස්ත‍්‍රික්කයෙන් මෙම මාසයේ මෙතෙක් වාර්තා වී ඇත්තේ ඩෙංගු රෝගීන් 17 දෙනකු පමණක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මෙම වසර තුළ මෙතෙක් දිවයිනෙන් වාර්තා වී ඇති මුළු ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 29,133 ක් වන අතර ඉන් බහුතරය වන රෝගීන් 4119 දෙනෙකු වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත‍්‍රික්කයෙනි.

ඉදිරි කාලයේ මෙරට වැසි සමය ඇරඹීමත් සමගම ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යෑමේ අවදානමක් පැවතීම නිසා ඩෙංගු මදුරුවන් බෝ නොවන අයුරින් තම අවට පරිසරය ශුද්ධ පවිත‍්‍රව තබා ගන්නා ලෙස වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරු මහජනතාවගෙන් ඉල්ලා සිටිති.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පෙන්වා දී ඇත්තේ එළඹෙන ශීත සෘතුව හා වැසි සමය හේතුවෙන් ඩෙංගු හා ඉන්ෆ්ලූවන්සා උණ රෝග වැඩි වශයෙන් පැතිරීමෙන් ගෝලීය ආපදාවට ලක් වූ රෝගීන් හා එම රෝගීන් වෙන් කර හඳුනාගැනීමේ දුෂ්කරතා මතු විය හැකි බවයි. මේ නිසා උණ රෝග පිළිබඳව අවධානයෙන් පසු වන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව සියලූ රටවලින් ඉල්ලීම් කර තිබේ.

ඒමන්ති මාරඹේ

දිවයින