Breaking News

පොම්පියෝගේ ශ්‍රී ලංකා සංචාරය ගැන චීනයෙන් නිවේදනයක්

 





දෙදින නිල සංචාරයක් අරඹමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අද (27) රාත්‍රී දිවයිනට පැමිණීමට නියමිතව.

මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් මෙරට චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙන්නේ කරුණු කිහිපයක් කෙරෙහි දැඩි අවධානය යොමුකරමින්ය. 

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ දී මෙරට අභිමතාර්ථයන්ට අත්තනෝමතික ලෙස මැදිහත් වීම් සිදුනොකළ යුතු බව චීන තානාපති කාර්යාලය සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරය සිදුකෙරෙන්නේ ශ්‍රී ලංකාව කොවිඩ් - 19 හේතුවෙන් අභියෝග රැසකට මුහුණ දී සිටින අවස්ථාවකය.

අමෙරිකාව තුළ දැනට මිලියන 8.8 ක කොරෝනා ආසාදිතයින් සහ මරණ දෙලක්ෂ තිස්දහසක් සිදුව ඇති පසුබිමක මෙම සංචාරයට සමගාමීව විශාල නියෝජිතයින් පිරිසක් මෙරටට එවීම සෞඛ්‍ය නීතිරිතිවලට ගැටලුවක් බව ද චීන රජය පෙන්වා දෙයි.

එමෙන්ම රාජ්‍ය ලේකම්වරයාගේ මෙරට සංචාරයේ දී මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමක් සිදුකරන ලෙසට කරන ලද ඉල්ලීම තුළින් සත්කාරක රාජ්‍යයට ගෞරවයක් හිමිවන්නේ දැයි අදාළ නිවේදනය මගින් චීනය ප්‍රශ්න කර තිබේ.

එම නිවේදනය මගින් චීනය අවධාරණය කරන්නේ, ශ්‍රී ලංකාව විදේශ සබඳතාවලදී  අත්‍යාවශ්‍යයෙන්ම තෝරා ගැනීමක් කළ යුතු බවට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් ඩීන් තොම්සන් විසින් කරන ලද ප්‍රකාශය, චීන ශ්‍රී ලංකා රාජ්‍ය තාත්න්‍රික බැදීම් උල්ලංඝනය කිරීමක් බවය. 

එමඟින් වෙනත් රටවල දේශීය හා විදේශීය ප්‍රතිපත්තිවලට අත්තනෝමතික ලෙස මැදිහත් වීම සහ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ රටවල පාර්ශවයන් තෝරාගැනීමට බලකිරීම යන එක්සත් ජනපද මැදිහත්වීම සම්පූර්ණයෙන්ම නිරාවරණය වන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ආසියානු රටවල් හතරක සංචාරයක් අරඹමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ඊයේ (26) ඉන්දියාවට පැමිණියේය.

විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ, අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා අද රාත්‍රී දිවයිනට පැමිණෙන බවය. 

එම සංචාරය තුළදී මයික් පොම්පියෝ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පාර්ශව කිහිපයක් සමඟ සාකච්ඡා කිරීමට නියමිතව තිබේ. 

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පාලන සමය තුළ ලංකාවේ සංචාරයක නිරත වන ඉහළම නිලධාරියා වන්නේ මයික් පොම්පියෝ මහතාය.