Breaking News

දේශීය කර්මාන්ත නගා සිටුවීමට ජනපතිගෙන් උපදෙස්

 

Coronavirus: President pledges to overcome the challenge of ...



දේශීය කර්මාන්ත නගා සිටුවීම සඳහා නිලධාරීන් නිර්මාණශීලිව ක්‍රියාකරමින් රජයේ තීරණ බිම් මට්ටමින් ක්‍රියාත්මක වන්නේදැයි පසුවිපරම් කළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡාවක් ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

නීති රීති වලට කොටු වී සාම්ප්‍රදායික කර්මාන්ත බිද වැටීමට ඉඩදිය නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අවධාරණය කළේ දිගුකාලීනව නිසි අවධානයට ලක් නොවූ පාරම්පරික කර්මාන්ත සංවර්ධනය සැලසුම්සහගතව කළයුතු කාර්යයක් බවයි.

දේශීය කර්මාන්ත සංවර්ධනය සඳහා නිලධාරීන් නිර්මාණශීලිව ක්‍රියාකිරීම අවශ්‍ය බවත් බිම් මට්ටමේ ගැටළු කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමුකර රජය ගන්නා තීරණ බිම්මට්ටමින් ක්‍රියාත්මක වන්නේදැයි පසුවිපරම් කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.

මැටි ප්‍රවාහනයේදී සහ මැටි ලබාගැනීමේදී කර්මාන්තකරුවන් මුහුණ දී ඇති ගැටළු සොයා බැලීමටත් දැනට වසා දමා ඇති මැටි ආශ්‍රිත නිෂ්පාදන ආයතන නැවත විවෘත කිරීමටත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

සාම්ප්‍රදායික කර්මාන්තවල වැදගත්කම පිළිබඳ පාසල් අවධියේ සිටම දරුවන්ට අවබෝධයක් ලබාදිය යුතු බවට පෙන්වා දුන් ජනාධිපතිවරයා විශ්වවිද්‍යාල සිසුන්ගේ පර්යේෂණ නිබන්ධන සඳහා ද සාම්ප්‍රදායික කර්මාන්ත පිළිබඳව අවධානය යොමුකිරීමේ වැදගත්කම පැහැදිලි කර තිබෙනවා.

හඳුන්කූරු නිෂ්පාදනයට යොදා ගන්නා බම්බු කූරු ආනයනයට වාර්ෂිකව විශාල මුදලක් වැය වන බැවින් ඒවා මෙරටදීම නිෂ්පාදනය කිරීමෙන් විදෙස් රටවලට ඇදීයන මුදල ඉතිරි කර ගැනීමට ඇති හැකියාව පෙන්වා දුන් ජනාධිපතිවරයා කෘෂිකාර්මික අගයක් නැති වගුරු බිම් වේවැල් වැනි කර්මාන්ත ක්ෂේත්‍රයේ වගාවන් සඳහා භාවිතා කිරීමට හැකියාව සොයා බලන ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

දේශීය කර්මාන්ත නගා සිටුවීමේදී පළාත් අමාත්‍යාංශ, රේඛිය අමාත්‍යාංශ සමග මනා සම්බන්ධීකරණයෙන් කටයුතු කරමින් ක්ෂේත්‍රයට සාම්ප්‍රදායික කර්මාන්තකරුවන්ට වෘත්තීය වටිනාකමක් ලබාදීම විෂයභාර අමාත්‍යාංශවල වගකීම බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.