Breaking News

පල්ලේකැලේ ක්‍රිකට් මැච් එකේ ටිකට් එකක් ලක්ෂෙ පනියි





ඉතිහාසයේ පළමු වතාවට ක්‍රිකට් තරගයක් නැරඹීමේ ප්‍රවේශ පත්‍රයක් රුපියල් ලක්‍ෂය ආසන්නයටම පැමිණ ඇත. ලබන සෙනසුරාදා (02 වැනිදා) මහනුවර, පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත ඉන්දියාව සහ පාකිස්තානය අතර ආසියානු කුසලාන තරගයේ ප්‍රවේශ පත්‍රයක් රුපියල් 96,000 ක් තරම් ඉහළ මිලකට නියම වී ඇත. එය ප්‍රධාන ක්‍රීඩාගාරයේ ඉහළ මාලයේ ආසනයක් වෙනුවෙනි. කෙසේ වෙතත් අනිද්දා (31) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයේ ප්‍රවේශපත් සඳහා එතරම් ඉහළ මිලක් නියම වී නැත. ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගයේ ප්‍රවේශපත්වල මිල නියම වී ඇත්තේ රුපියල් 1600 ක්, රුපියල් 6400 ක් සහ රුපියල් 11,200 ක් ලෙසිනි.



ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින දේශපාලනික අර්බුද හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර ක්‍රිකට් තරගයක් පැවැත්වෙන සෑම අවස්ථාවකදීම ඒ වෙනුවෙන් සුවිශාල අවධානයක් යොමුවීම සාමාන්‍යය තත්වයකි. පාකිස්තානයේ තරග කිරීමට ඉන්දියානුවන් අකමැත්ත ප්‍රකාශ කිරීම හේතුවෙන් මෙවර ආසියානු කුසලාන තරගාවලියේ තරග කිහිපයක් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙයි. තවත් තරග කිහිපයක් පාකිස්තානයේ දී පැවැත් වෙයි.පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී තරග නැරඹිය  හැකි ප්‍රේක්‍ෂක සංඛ්‍යාව 25,000 කට ආසන්නය. ඒ අතුරෙන් ආසන පහසුකම් ඇත්තේ ප්‍රේක්‍ෂකයන් 6000 කට පමණි. ආසන පහසුකම් නොමැති ප්‍රධාන ලකුණු පුවරුව ආසන්නයේත් ඊට ප්‍රතිවිරුද්ධ අන්තයේත් පිහිටි තණබිස්ස මත ප්‍රෙක්‍ෂකයන් 15,000 ත් 16,000 ත් අතර පිරිසකට තරග නැරඹිය හැකිය.

ලබන සෙනසුරාදා පැවැත්වෙන ඉන්දු පාකිස්තාන තරගය සඳහා ප්‍රධාන ක්‍රීඩා මණ්ඩපයේ ඉහළ මාලයේ ආසනයක මිල රුපියල් 96,000 කි. ප්‍රධාන ක්‍රීඩා මණ්ඩපයේ එවන් ආසන 1000 ක් තිබේ.

ඉන්දු - පාකිස්තානු තරගය සඳහාම ප්‍රධාන ක්‍රීඩා මණ්ඩපයේ පහළ මාලයේ ආසනයක මිල රුපියල් 40,000 කි. එවන් ආසන 5000 කි. කිසිම ආසන පහසුකමක් හෝ හිසට ආවරණයක් නොමැති, තණ බිස්ස මත වාඩිවී හෝ සිටගෙන, තරගය නැරඹීමේ ප්‍රවේශ පත්‍රයක් රුපියල් 9,600 කි.

ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගය සඳහා මෙම ප්‍රවේශපත්වල අගය පිළිවෙළින් රුපියල් 11,200 ක්, රුපියල් 6400 ක් සහ රුපියල් 1600 ක් ලෙසින් සටහන් වේ.ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය සඳහා රුපියල් 96,000 ට මිල නියම කළ ප්‍රවේශපත් 1,000 න් ඊයේ (27) සවස් වන විට ඉතිරිව තිබුණේ ප්‍රවේශපත් 58 ක් පමණි. රුපියල් 40,000 කට මිල නියම කරන ලද ප්‍රවේශපත් 5000 න් ඉතිරිව තිබුණේ 1029 කි. තණ බිස්සේ ප්‍රවේශපත් 16,000 කට ආසන්න ප්‍රමාණයකින් 11,600 ක් පමණ ඉතිරිව තිබූ බව තරගාවලියේ ප්‍රවේශපත් අලෙවි කිරීම වෙනුවෙන්ම පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නම්කරනු ලැබ ඇති නිල වෙබ් අඩවියේ සටහන් වේ.මෙම සියලුම ප්‍රවේශපත් අන්තර්ජාලය ඔස්සේ අළෙවි කෙරේ.

සියලුම ප්‍රවේශපත් අලෙවි කිරීමටත්, ක්‍රීඩාංගනයට ඇතුළුවීමේ දී ඒවා පරීක්‍ෂා කිරීමටත් පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ නියෝජිත පිරිසක් පැමිණ සිටිති. එහෙත් ප්‍රවේශපත්වල පවතින අධික මිල ගණන් හේතුවෙන් තරගය නැරඹීමට නොහැකි ප්‍රේක්‍ෂකයන් සඳහා කෙන්ගල්ල පාසල් ක්‍රීඩාංගනයේත්, බණ්ඩාරනායක ක්‍රීඩාංගනයේත් දැවැන්ත තිර දෙකක් ස්ථාපිත කරන බව මහනුවර දිස්ත්‍රිකට් ක්‍රිකට් සංගමය කියයි.


දමින්ද විජේසූරිය