Breaking News

රවී ඇතුළු පිරිස ඇප මත මුදාහරී?

 






හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකු හෙට (01) දින දක්වා  තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියම කළේය.


2016 වසරේ මාර්තු මස 31 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 15ක් වටිනා බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.


රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් ඇප මත මුදා හරින්නේ ද ? නැද්ද? යන තීන්දුව හෙට පෙරවරු 9.00 ට ප්‍රකාශ කරන බවද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් ක‍ළේය.


අමල් රණරාජා, නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය කරනු ලැබීය.


එම නඩුවේ විත්තිකරුවන්ට ඇප නියම කිරීම සඳහා නීතිපතිවරයාගේ අනුමැතිය අවශ්‍ය නොවන බවට එම ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ඉකුත් 26 වනදා තීන්දුවක් ලබා දී තිබුණි.


එම තීන්දුව අත පසුවීමකින් හෝ නීතිය නොසලකා හැර දුන් තීන්දුවක් ලෙස සලකා එය යළි සලකා බලන්නැයි අද (31) පෙරවරුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.


එම ඉල්ලීම පිළිබඳව දීර්ඝ ලෙස කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපති අමල් රණරාජා මහතා විවෘත අධිකරණය ප්‍රකාශ කළේ ඉකුත් 26 වන දා තමන් ඇතුළු සාමාජික විනිසුරුවරු එම තීන්දුව ලබා දුන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහය, අධිකරණ සංවිධාන පනත ඇතුළු අණපනත් පුළුල් ලෙස අධ්‍යයනය කිරීමෙන් අනතුරුව බවය.


ඒ අනුව ඉකුත් 26 වන දා තමන් දුන් තීන්දුව තුළ නීතිය නොසලකා හැරීමක් හෝ අතපසුවීමක් සිදු වී නොමැති බවට තීන්දු කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නීතිපතිවරයා විසින් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවද සඳහන් කළේය.