Breaking News

සංචාරකයන්ට කොරෝනා හැදුනාට රටම විවෘත කරනවා!

 





සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ජනවාරි මස අග වන විට ගුවන්තොටුපල සහ රට සංචාරකයින්ට නිල වශයෙන් විවෘත කිරීමට සියලු කටයුතු සුදානම් කරමින් පවතින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරනය කලේ  එම දිනය නිල වශයෙන් ඉතා කඩිනමින් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බවයි.


සංචාරකයන් දිවයිනට ගෙන්වීම සහ ගුවන්තොටුපල විවෘත කිරීම සම්බන්ධයෙන් සංචාරක ව්‍යාපාරයේ නිරත හෝටල්හිමියන්, ගුවන්සේවා සමාගම්, සංචාර සංවිධානය කරනු ලබන ආයතන මාර්ගෝපදේශකයන් සහ සංචාරක රියදුරන් සම්බන්ධ ආයතන සහ සංවිධාන සමග පැවති සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව සදහන් කලේය. මෙම සාකච්ඡාව අද (31) සංචාරක අමාත්‍ය කාර්යාලයේදි පැවැත්වින.


මෙම සාකච්ඡාවට එක්වූ හෝටල්හිමියන්ගේ සංගමය සංචාරක සංවිධානය කරන සංගම් අවධාරනය කලේ පවතින තත්වය තුල සංචාරක කර්මාන්තය යලි ආරම්භ කිරීම සදහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සිය සහය පළ කරන බවයි. හෝටල් සංගමයේ සභාපති සනත් උක්වත්ත මහතා මෙහිදි සදහන් කලේ මෙම නියාමන ව්‍යාපෘතිය පවතින තත්වය තුල සංචාරක කර්මාන්තය ආරම්භ කිරීම සදහා හොද පුර්වාදර්ශයක් සපයනු ඇති බවයි. සාකච්ඡාවට එක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යාපාරිකයන්ගේ සංගමයේ එම්.බී ජයරත්න මහතාද කුමන හෝ තත්වයක් තුල සංචාරක ව්‍යාපාරය යලි ආරම්භ කිරීම පිලිබද සිය ප්‍රසාදය පළ කලේය. සංචාර සංවිධානය කරන්නන්ගේ සංගමය මහේන් කාරියවසම් මහතා කිවේ සංචාරකයන්ට රට විවෘත කිරීමේදි මෙවැනි තත්වයන්ට මුහුණ දීමට සුදානම් විය යුතු බවයි.


ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ. මෙම නියාමන ව්‍යාපෘතිය සංවිධානය කෙරුනේ මීට අදාල පුර්ව සුදානමක් ඇතිව බවයි. පැමිණෙන සංචාරකයින් අතර කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වුවහොත් ඔහු සම්බන්ධයෙන් ගත යුතු සියලු පියවර සෞඛ්‍ය මාර්ගෝපදේශ මගින් අදාල සංචාරය සංවිධානය කරන්නන්ට හා හෝටල් වලට ලබා දී ඇති බවත් ඔවුන් එය නිසි ලෙස ක්‍රියාත්මක කරන්නේ දැයි සෞඛ්‍ය බලධාරීන් සහ සංචාරක සංවර්ධන අධිකාරිය දැඩි අධීක්ෂණයකට ලක් කර ඇති බවත් ඇමතිවරයා සදහන් කලේය. ජනවාරි මස අග සිට සංචාරකයන්ට රට විවෘත කිරීමේදි අනුගමනය කළ යුතු ක්‍රියාපිලිවෙත් සම්බන්ධයෙන්ද මෙහිදි සාකච්ඡා කෙරිනි.


ගුවන් සමාගම් නියෝජිතයන්ගේ සංගමයේ නියෝජිත චන්දන ද සිල්වා මහතා මෙහිදි කියා සිටියේ පවතින තත්වයන් තුල සංචාරකයන්ට හා ගුවන්තොටුපල විවෘත කිරීමට රජය ගත් තීරණය අගය කළ යුතුබවයි. ඒ සදහා සිය පූර්ණ සහය පළ කරන බවද ඔහු සදහන් කලේය. ඇමතිවරයා සමග සාකච්ඡාවට එක්වූ සංචාරක මග පෙන්වන්නන් සහ රියදුන්ද පවතින තත්වය යටතේ සංචාරක කර්මාන්තය නැවත ආරම්භ කිරීමට රජය ගත් පියවර පිළිබදව සිය ප්‍රසාදය පළ කළ අතර සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබා දෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරක ව්‍යාපාරයට දායක වීමට සිය කැමැත්ත පළ කලේය.


ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදි කියා සිටියේ කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සංචාරක කර්මාන්තය බිද වැටීම නිසා ලක්ෂ 30 කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි. ලෝකයේ බොහෝ රටවල් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරක කර්මාන්තය ආරම්භ කර ඇති බව පෙන්වා දුන් ඇමතිවරයා රජය මෙම තීරණයට එලඹියේ ඉතා ප්‍රවේශමෙන් සියල්ල අධ්‍යයනය කිරීමෙන් අනතුරුව බවද කිවේය. නියාමන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ආකාරය දැඩි නිරීක්ෂණයකට ලක් කොට ගුවන්තොටුපල නිල වශයෙන් වානිජ ගුවන්ගමන් සදහා විවෘත කිරීම සිදු කරන බවද ඇමතිවරයා සදහන් කලේය.


මෙම සාකච්ඡා වලට සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි, සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපති කිමාලි ප්‍රනාන්දු, අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මිකා විජේරත්න, සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධක්ෂ ජෙනරාල් තේමිය අබේවික්‍රම යන මහත්ම මහත්මීහුද සහභාගී වූහ.