Breaking News

‘Made in Sri Lanka’ ක්‍රියාන්විතය ඇරඹෙයි!

 






දේශීය ව්‍යවසායකයන්ට සිය නිෂ්පාදන නිසි වෙළෙඳපොළ ක්‍රියාදාමයකට රැගෙන යාමට නොහැකිවීමේ දිගුකාලීන අර්බුදයට පිළියමක් ලෙස කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) මගින් සුවිශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බවත් එමගින් දේශීය නිෂ්පාදන සඳහා ‘Made in Sri Lanka’ සන්නාමය ලබාදීමටත් ගුණාත්මක තත්ත්වයෙන් යුත් දේශීය නිෂ්පාදන දෙස්-විදෙස් වශයෙන් අලෙවි කිරීම සඳහා වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කිරීමටත් නියමිත බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.


ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (14) කොළඹ ගෝල්ෆේස් හෝටලයේ පැවැති ‘Made in Sri Lanka යුගයක ඇරඹුම’ සුවිශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

“දේශීය ව්‍යවසායකයන්ට සිය නිෂ්පාදන නිසි වෙළඳපොළ ක්‍රියාදාමයකට රැගෙන යාමට නොහැකිවීමේ දිගුකාලීන අර්බුදයට පිළියමක් හැටියට ජාතික වශයෙන් වැදගත් වැඩපිළිවෙළක් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ තමයි ‘Made in Sri Lanka’ යන සන්නාමය මේ රටේ දේශීය නිෂ්පාදකයන්ගේ, ව්‍යවසායකයන්ගේ නිෂ්පාදනවලට ලබා දීම සහ ගුණාත්මක තත්ත්වයෙන් යුතු එවැනි නිෂ්පාදන අලෙවි කිරීම සඳහා වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කිරීම.


ඒ අනුව අද (15) දින සවස 7:00ට ගෝල්ෆේස් හෝටල් පරිශ්‍රය තුළ, පවතින නිරෝධායන නීතිරීතිවලට අනුකූලව ‘Made in Sri Lanka යුගයක ඇරඹුම’ ක්‍රියාන්විතය එළිදැක්වීම සිදු කිරීමට නියමිතයි. මෙහිදී අපි විශේෂයෙන් සලකා බලනවා ‘Made in Sri Lanka’ ක්‍රියාන්විතය ඩිජිටල් මාධ්‍යයෙන් නිර්මාණය කෙරෙන කටයුත්තක් බවට පත් කෙරුමට. 100%ක්ම දේශීය අමුද්‍රව්‍ය යොදාගන්නා නිෂ්පාදනයකට ‘Made in Sri Lanka’ සන්නාමය එක් වර්ණයකිනුත් 70%ක් දේශීය අමුද්‍රව්‍ය යොදා ගන්නා නිෂ්පාදනයකට එම සන්නාමය වෙනත් වර්ණයකිනුත් 50% හෝ ඊට අඩු දේශීය අමුද්‍රව්‍ය යොදා ගන්නා නිෂ්පාදනයකට තවත් වර්ණයකිනුත් මෙම සන්නාමය ලබා දීම සිදු කිරීමට නියමිතයි. එය සඳහා පිළිගත් විශේෂඥ කමිටුවක් පත් කරලා ඒ කමිටුව හමුවට ඉදිරිපත් කරන දේශීය නිෂ්පාදන පිළිබඳ තීරණ ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.


‘රට පුරා දිවෙන යාන්ත්‍රණයක්’


අපි හෙට මෙම ක්‍රියාන්විතය ඇරඹීමේදී සංකේතාත්මකව එවැනි නිෂ්පාදන දහයකට ‘Made in Sri Lanka’ සන්නාමය ලබාදෙනවා.නමුත් එම ක්‍රියාදාමය ඉදිරියට යන්නේ ඉහත විශේෂඥ කමිටුවේ නිර්දේශය සහිතවයි. ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය යටතේ සෑම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකටම අදාළ නිලධාරියෙකු සිටිනවා. ඔවුන් දැනටමත් තම බල ප්‍රදේශය තුළ සිටින දේශීය ව්‍යවසායකයන් හා ඔවුන්ගේ නිෂ්පාදන මොනවාද, ආදී දත්ත එකතු කරගනිමින් සිටිනවා.


‘Made in Sri Lanka’ වෙබ් අඩවිය


එම දත්ත උපයෝගී කර ගනිමින් දේශීය නිෂ්පාදන පිළිබඳව අවබෝධය ලබා දෙන, කෙලින්ම අදාළ නිෂ්පාදකයා සම්බන්ධ කරගත හැකි, ඒ හරහාම ගැනුම්කරුවාට අතරමැදියෙකුගේ දායකත්වයෙන් තොරව ඉහත නිෂ්පාදන මිලදී ගත හැකි සුවිශේෂී වෙබ් අඩවියක් madeinsrilanka.org නමින් නිර්මාණය කිරීම ද අපි අරඹා තිබෙනවා.හෙට සිට එම කටයුත්ත ඉතා වේගවත්ව සිදු කිරීමට අපේක්ෂිතයි.


Made in Sri Lanka අලෙවිසැල් ජාලයක්!


රට පුරා පමණක් නොවේ, විදේශ රටවලත් Made in Sri Lanka අලෙවිසැල් ජාලයක් පිහිටුවීමටත් මේ ක්‍රියාන්විතය යටතේ අපි කටයුතු කරනවා. මේ සඳහා කැමැත්ත තිබෙන, ඇති හැකි පෞද්ගලික අංශයේ පිරිස්වලට මෙම Made in Sri Lanka අලෙවිසැල් ජාලය පවත්වාගෙන යාම සඳහා අපි ඇරයුම් කරනවා. එම අලෙවිසැල් ජාලයට දේශීය නිෂ්පාදකයන් හා දේශීය නිෂ්පාදන යොමු කර දීම ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් සිදුකෙරෙනු ඇති.


දේශීය නිෂ්පාදකයන්ට වෙළෙඳ දැන්වීම් සඳහා විශාල පිරිවැයක් යෙදීමට බැහැ. ගුණාත්මක බවින් යුත් දේශීය නිෂ්පාදන පවා බහුජාතික සමාගම් සතු ‘වෙළඳ දැන්වීම් බලය’ හමුවේ මෙරට වෙළඳපොළ අවකාශය අත්පත් කර ගැනීමට නොහැකිව අසරණ වන අවස්ථා බොහෝයි. ඒ අයට ද ඔවුන් හමුවේ පවතින මේ අභියෝගය ජයගැනීමට රජයක් හැටියට දිය හැකි උපරිම සහයෝගය ලබාදීම සඳහායි මෙම ක්‍රියාන්විතය හෙට සිට ඇරඹෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා, මෙම ‘Made in Sri Lanka’ වැඩපිළිවෙළ 2021 මැද භාගය වනවිට අංගසම්පූර්ණ මට්ටමකට රැගෙන ඒමට “

මෙහිදී කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා, ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ යන මහත්වරු ද අදහස් දැක්වූහ.