Breaking News

ප්‍රාදේශීය සභාවේ සේවකයින්ගේ පහරදීමකින් වටරැක විජිත හිමියෝ රෝහල්ගත කරයි!

 






මහියංගණ ප‍්‍රාදේශීය සභාවට කොරෝනා වසංගත සමයේ එම පාලන කටයුතු සඳහා බඳවා ගන්නා ලද තාවකාලික සේවකයන් පිරිසක් ප‍්‍රාදේශීය සභාපතිවරයාගේ පෞද්ගලික වත්තක සේවයට යොදවා ඇති බවට ලැබුණු තොරතුරක් මත ඒ බව සොයා බැලීම සඳහා එම ගෙවත්තට ගොස් ප‍්‍රශ්න කළ අවස්ථාවේ තමාට එම සේවකයන් පහරදීම හේතුවෙන් සිදු වූ තුවාල නිසා ප‍්‍රතිකාර ලබා ගැනීමට මහියංගණ මූලික රෝහලට 28 වැනිදා (පෙරේදා) ඇතුළත් වූ බව මහියංගණ ප‍්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ මන්ත‍්‍රී පූජ්‍ය වටරැුක විජිත හිමියෝ පවසති.

එහිදී වටරැක විජිත හිමියන් පවසන්නේ සභාවට තාවකාලිකව බඳවාගත් සේවකයන් සභාපතිවරයාගේ පෞද්ගලික ගෙවත්තක පැළ සිටිවීම සඳහා දින කිහිපයක් තිස්සේ යොදවා ගෙන ඇති බවයි. සේවකයන් පැමිණීමේ ලේඛනයේ අත්සන් කර සභාපතිවරයාගේ පෞද්ගලික ගෙවත්තේ සේවය සඳහා යොදවාගන්නා බව ද උන්වහන්සේ කියති.

එම හිමියන් සමග පැමිණි පුද්ගලයකු පොලූ මුගුරුවලින් පහරදුන් බව පවසා සේවකයන් තිදෙනකු ද ප‍්‍රතිකාර සඳහා මහියංගන මූලික රෝහලට 28 වැනිදා ඇතුළත්ව ඇත.

ප‍්‍රා. ස. මන්ත‍්‍රී වටරැුක හිමියන්ගේ චෝදනා සම්බන්ධයෙන් මහියංගණ ප‍්‍රාදේශීය සභාවේ සභාපති කරු වීරරත්න මහතාගෙන්

විමසූ විට ප‍්‍රකාශ කර සිටියේ, හිමියන්ගේ චෝදනා සියල්ල අසත්‍ය බවයි. තාවකාලිකව බඳවාගත් සේවකයන් 25 වැනිදා සිට සභාවේ වැඩ සඳහා වර්තා කර නොමැති බවත්, එම සේවකයන් දවසේ වැටුප් ගෙවා තමන්ගේ ගෙවත්තේ වැඩට ගත් බවත් ඔහු කීවේය. චෝදනා සිදුකරන හිමියන්ගේ ඉතිහාසය පිළිබඳ තොරතුරු රටම දන්නා බවත්, හෙතෙම කීවේය.

මහියංගණ ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති ලෙස ඊ. එම්. සම්පත් ඒකනායක මහතා සිද්ධිය සම්බන්ධයෙන් 28 දින දහවල් මහියංගණ පොලිසියේ පැමිණිල්ලක් ගොනු කරමින්, මහියංගණ ප‍්‍රාදේශීය සභාවේ සේවකයන්ගේ පැමිණීමේ ලේඛනය සභා කාර්යාලයෙන් අස්ථානගතව ඇති බව දන්වා තිබේ.

ප‍්‍රාදේශීය සභාවේ සභාපති කරු වීරරත්න මහතා ඇතුළු මන්ත‍්‍රී කණ්ඩායමක් රෝහලේ ප‍්‍රතිකාර ලබන හිමියන්ගේ සුව දුක් විමසීම සඳහා එදින රෝහල වෙත පැමිණ සිටි ආකාරය ද දක්නට ලැබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් මහියංගණ පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එස්. ජේ. ඒ. ආර්. එල්. සේනාධීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.