Breaking News

විශ්වාසය කැඩූ නිසා හිටපු පොලිස්පති ආරක්ෂක කවුන්සිලයට කැඳවූයේ නැහැ – මෛති‍්‍රපාල සිරිසේන






තමාගේ විශ්වාසය කැඩූ නිසා පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා ආරක්ෂක කවුන්සිලයට නොකැඳ වු බව හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පාස්කු සිදුවීම පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඊයේ (24 දා) පැවසීය.

හිටපු ජනාධිපතිතුමා ඒ පිළිබඳව සඳහන් කර සිටියේ පුජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ මහතා ඇසු හරස් ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි. අනුර මැද්දගොඩ මහතා විමසූ හරස් ප‍්‍රශ්න හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

ජනාධිපති නීතීඥ අනුර මැද්දගොඩ මහතා : ඔබතුමාට ව්‍යවස්ථාව ගැන හොඳ දැනුමක් තිබෙනවා නේද?

හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා : යම් ප‍්‍රමාණයකට ඒ පිළිබඳව අවබෝධයක් තිබෙනවා.

ජනාධිපති නීතීඥ අනුර මැද්දගොඩ මහතා : ජාතික ආරක්ෂක කවුන්සිලයට අනිවාර්යයෙන්ම කැඳවිය යුතු නිලධාරීන් පිළිබඳව ඊට අදාල ගැසට් පත‍්‍රයේ සඳහන් වෙනවා. එම නිලධාරින් අතර පොලිස්පතිවරයා සිටියත් ඔබතුමා 2018 න් පසු පුජිත් ජයසුන්දර මහතා ආරක්ෂක කවුන්සිලයට කැඳවුයේ නැහැ නේද?

හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා :ඔව්. මම එය පිළිගන්නවා.

ජනාධිපති නීීතිඥ අනුර මැද්දගොඩ මහතා : අනිවාර්යයෙන්ම කැඳවිය යුතු නිලධාරීන් ඔබතුමා ඒ ආකාරයට නොකැඳවීම නීතියට පටහැනි බව මම යෝජනා කරනවා.

හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා : මා එය ප‍්‍රතික්ෂේප කරනවා. නීති පොතේ ඒ ආකාරයට තිබුනට එක් එක් අවස්ථාව අනුව මට කි‍්‍රයා කරන්න සිද්ධවුවා. මට විශ්වාසවන්ත අයයි මා කැඳවන්න ඕන. මගේ විශ්වාසය කැඩුව නිසා පොලිස්පති වෙනුවට නියෝජ්‍ය පොලිස්පතිවරයකු මා රැස්වීමට කැඳවුවා.

ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ මහතා : ඒ කියන්නේ ඔබට නීතිමය ප‍්‍රතිපාදන වැඩක් නැහැ. ඔබගේ කැමැත්ත අනුව කටයුතු කළා. එහෙම නේද?

හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා : නෑ. නීතිමය රෙගුලාසි නොතැකුවා නොවේ. ජනපතිගේ අභිමතය පරිදි විශ්වාසය අනුව නිලධාරීන් ගෙන්වනවා.

ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ මහතා : ජනාධිපතිවරයාගේ අභිමතය අනුව කටයුතු කරන්න පුළුවන් කියලා ඔය ගැසට් එකේ කොහේ හරි තිබෙනවා ද කියලා මට පෙන්වන්න.

හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා : ගැසට් එකේ නොතිබෙන්න පුළුවන්. විනයක් හික්මීමක් ඇතිව තමන්ගේ ආයතනයක කටයුතු කරගෙන යන්න නම් නියමුවාට අවශ්‍ය තීරණ ගන්න පුළුවන්. ඇති වුණ කාරණා අනුව විශ්වාසය මතයි මා කටයුතු කළේ.

ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ මහතා : ගැසට් එකේ ප‍්‍රතිපාදන තිබෙනවා ද විශ්වාසවන්ත භාවය ගැන?

හිටපු ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා : ගැසට් එකේ නොතිබෙන්න පුළුවන්.

ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ මහතා : ජනාධිපතිවරයාට කිසිම අවස්ථාවක රටේ නීතිය අභිබවා කටයුතු කරන්න බැහැ නේද..?

හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා : කොහෙත්ම බැහැ.

ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ මහතා : එහෙම නම් ගැසට් නියමයත් පිළිපදින්න ඕන නේද?

හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා :ඔව් පිළිගන්නවා.

ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ මහතා : එහෙම නම් ඔබ ආරක්ෂක කවුන්සිලයෙන් පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා බැහැර කිරීම හිතාමතා කරපු නීතිමය ප‍්‍රතිපාදන පැහැර හැරීමක් නේද?

හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා : සම්පුර්ණයෙන් ප‍්‍රතික්ෂේප කරනවා. පොලිස්පතිවරයා පමණක් නොවෙයි මම මගේ අගමැතිවරයාත් ඉවත් කළානේ.

ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ මහතා : හිටපු ජනාධිපතිතුමා අගමැතිතුමා ආරක්ෂක කවුන්සිලයේ් නිත්‍ය සාමාජිකයෙක් නොවෙයි නේද?

හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා : නෑ ඉතින් ළඟම කෙනා අගමැතිනේ. ඒත් මම අයින් කළානේ. එකයි කිව්වේ. අගමැති විතරක්ය මුළු කැබිනට් එකම අයින් කළානේ.

ජනාධිපති නිතීඥ අනුර මැද්දගොඩ මහතා : එම ඉවත් කිරීම වැරදි බව උත්තරීතර අධිකරණය විසින් නියෝගයක් දීලාම ප‍්‍රකාශ කළා නේද?

හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා : නීති පොතේ නැති ඒවා රාජ්‍ය පාලනයේ දී තිබෙනවා. විශ්වාසවන්ත කෙනා ළඟට ගන්නවා. නැති කෙනා දුරස් කරනවා. ඒකටනේ රාජ්‍ය පාලනය කියන්නේ. උපාය පාවිච්චි කරන්න ඕන.

ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ මහතා : ඔබගේ කාලයේ දී නීති රාමුවෙන් පිට ගිහින් කටයුතු කිරීම අවස්ථානුකූලව යෝග්‍යයි යන ස්ථාවරය ද ඔබ අනුගමනය කළේ?

හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා : මා එහෙම කියන්නේ නැහැ. මා වැඩ කළේ නීතියට අනුවයි. බාල හේතු මත එම තීරණ ගත් බව මම ඔබට යෝජනා කරනවා. මා චෝදනාව සම්පුර්ණයෙන් බැහැර කරනවා, බොළඳ වැඩ කරන කෙනෙකුට ජනාධිපතිධුරයේ ඉන්න බැහැනේ ස්වාමිනි.


එරික් ගාමිණි ජිනපි‍්‍රය

දිවයින