Breaking News

ට්‍රම්ප් ආරක්ෂක ලේකම්ව නෙරපයි!

 





එක්සත් ජනපදයේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාක් එස්පර් ආරක්ෂක ලේකම් ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි නෙරපා ඇති අතර, ඔහු වෙනුවට ක්‍රිස්ටෝපර් මිලර් වැඩබලන ආරක්ෂක ලේකම් ලෙස පත්කර තිබේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ට්‍රම්ප් කියා සිටියේ,

"ජාතික ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයේ (සෙනෙට් සභාව විසින් ඒකමතිකව සනාථ කරන ලද) ඉහළ ගෞරවයට පාත්‍ර වූ අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් සී. මිලර් වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩබලන ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරන බව ප්‍රකාශ කිරීමට ලැබීම සතුටට කරුණක්. ක්‍රිස් විශිෂ්ට කාර්යයක් කරනු ඇති! මාර්ක් එස්පර්ගේ සේවය වෙනුවෙන් මම ඔහුට ස්තූති කිරීමට කැමතියි." යනුවෙනි.

ට්‍රම්ප් සහ එස්පර් ආසන්න මාසවලදී එතරම් හොඳ සම්බන්ධතාවක නොසිට ඇති අතර, හිටපු ආරක්ෂක ලේකම්වරයා විවිධ කාරණා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග මත ගැටුම් ඇති කර ගෙන තිබේ.

අගෝස්තු මාසයේදී ට්‍රම්ප් පුවත්පත් සාකච්ඡාවකදී එස්පර්ව 'මාර්ක් යෙස්පර්' ලෙස හඳුන්වා තිබුණේද, ඔහු සිය ධුරයේ සඳහා වැඩි කාලයක් නොසිටින බවට ඉඟි පළ කරමිනි.

ජර්මනියෙන් එක්සත් ජනපද හමුදා ඉවත් කරගැනීම පිළිබඳ සාකච්ඡා සඳහා එස්පර් ලබන සතියේ යුරෝපයට යාමට නියමිතව තිබුණි. කෙසේ වෙතත් තම ජයග්‍රහණය ඩිමොක්‍රැටික් පක්ෂය සොරාගත් බව පවසමින්, ට්‍රම්ප් ඉදිරියේදී දේශපාලන රැළි කිහිපයක්ම සංවිධානය කිරීමට සැලසුම් කර ඇති අතර, එහිදී ඇතැම් ප්‍රාන්තවල මියගිය අයද ඡන්දය ප්‍රකාශ කර ඇති බව ඔප්පු කිරීමට ට්‍රම්ප් සැරසෙයි.