Breaking News

බුවනෙකබා රාජසභාව ඩෝසර් කළවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න!





කුරුණෑගල බුවනෙක හෝටලය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල විනාශ කිරිම පිලිබඳ වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කළ යුතු බව ඒ සම්බන්ධයෙන් පත් සොයා බැලීමට පත් කරන ලද කමිටුව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට යෝජනා කොට තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සකස් කරන ලද අන්තර් කාලින වාර්තාව පංච පුද්ගල කමිටුව විසින් අද අග්‍රාමාත්‍යවරයා වෙත භාර දෙනු ලැබුවා.

එම වාර්තාවෙන් පහත සඳහන් යෝජනා 05ක් ඉදිරිපත් කොට තිබු අතර ඒවා නම්,

1. ගොඩනැගිල්ලේ ඉදිරිපස කොටසේ හානි සිදුව ඇත්තේ පියස්සේ කොටසකට හා ජනෙල්වලට බැවින් එම කොටස් පුරාවිද්‍යාත්මකව සංරක්ෂණය කිරිමේ හැකියාවක් ඇත. මුළුමනින්ම විනාශ වී ඇති පිටුපස කොටසේ දැව බාල්ක හා ගඩොල් ඇතුළු පුරාවිද්‍යා ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍ය සුරක්ෂිතව ඇත. එම නිසා මිට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් විස්තරාත්මකව ලෙස වාර්තා කර ඇති නිසා සහ සංරක්ෂණ සැලසුම් සකස් කර ඇති නිසා එම පැරණි කොටස නැවත යථාවත් කිරිමේ හැකියාවක් ඇත. එම නිසා ගොඩනැගිල්ල කඩිනමින් සංරක්ෂණය කළ යුතුය.

2. මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීම.

3. මෙම ස්ථානය පුළුල් කිරීමේ සැලැස්ම සංශෝධනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියට යෝජනා කිරීම.

4. මෙම විනාශයට වගකිව යුත්තන්ට නීතිමය පියවර ගැනීම.

05. විනාශයට වගකිවයුතු ආයතන හෝ පුද්ගලයින් මගින් සංරක්ෂණය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම,

යනුවෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක ගේ ප්‍රධානත්වයෙන් යුත් එම පංච පුද්ගල කමිටුව විසින් යෝජනා ඉදිරිපත් කොට ඇත.