Breaking News

චීනයෙන් තවත් ණය ගැනීමට සාකච්ඡා !



කොවිඩ්-19 වසංගතයට එරෙහි සටනේ දී ආර්ථික අසීරුතාවන්ට මුහුණ දී ඇති ජාතීන්ට උපකාර කිරීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස චීනය රටවල් හැත්තෑ හතක ණය අයකර ගැනීම අත්හිටුවා ඇත.
වයිරසයට එරෙහි සටන පිළිබඳව පෙරේදා දිනයේ විශේෂ ‘ධවල පත්‍රිකාවක්’ නිකුත් කිරී‍මේ අවස්ථාවට එක්ව සිටි චීන විදේශ ඇමැති මා ෂොක්සු මෙම ණය සහනය පිළිබඳව නිවේදනය කළ නමුත් අදාළ ප්‍රතිලාභය ලබන රටවල් මොනවාද යන්න ප්‍රකාශ කිරීම ඉදිරියට කල් තැබීය.
මේ අතර කොළඹ චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයකු ඊයේ (08වැනිදා) සඳහන් කළේ ශ්‍රී ලංකාවට ණය සහන ලබා දීම සඳහා දෙපාර්ශ්වය අතර සාකච්ඡා අඛණ්ඩව සිදු කෙරෙන බවයි.
‘‘දෙරටේ ජනාධිපතිවරු දෙදෙනාගේ මෑතක දී සිදු වූ දුරකථන සංවාදයේ දී මේ පිළිබඳව සාකච්ඡා කළා.’’ යැයි පැවසූ එම ප්‍රකාශකයා පසුගිය දා පැවැති ජී-20 සමුළුවේ දී වයිරසයේ බලපෑම හේතුවෙන් අසීරුතාවට පත් රටවලට සහන සැලසීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරී ඇති බවත් ශ්‍රී ලංකාව ද අදාළ රටවල් ගොන්නට අයත් බවත් පවසා ඇත.
පසුගිය මැයි 13 දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග පැවැති දුරකථන සංවාදයක දී චීන ජනපති ෂී ජින් පින් අන්තර්ජාතික සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීමටත් ශ්‍රී ලංකාව හා සෙසු රටවලට ආර්ථික සහන සැලසීමටත් චීනයේ පවතින සූදානම අවධාරණය කළේය.
එසේම ආර්ථිකය, වෙළෙඳාම, සංචාරක හා යටිතල පහසුකම් යන අංශයන්හි චීනය සමග පවතින සහයෝගිතාව ශක්තිමත් කිරීමට ද මෙම දුරකථන සංවාදයේ දී අවධානය යොමු කෙරිණි.
කෙසේ වෙතත් මෙය කොවිඩ් මුවාවෙන් නැවතත් රටවල් කිහිපයක් ණය උගුලේ සිර කිරීමට දරණ ප්‍රයත්නයකට ශ්‍රී ලංකාව කොටු කිරීමේ උත්සාහයක් බවට විපක්ෂය චෝදනා කරයි.